August 19, 2026

33 හැවිරිදි නිරූපණ ශිල්පිනියක සහ රංගන ශිල්පිනියක වන ට්විෂා ෂර්මාගේ මරණය සම්බන්ධයෙන්, ඉන්දියානු මධ්‍යම විමර්ශන කාර්යාංශය (CBI) විසින් ඇගේ සැමියාට සහ නැන්දම්මාට එරෙහිව සියදිවි නසා ගැනීමට අනුබල දීම සහ කෲර ලෙස සැලකීම යන චෝදනා යටතේ නඩු පවරා ඇත.

මැයි 12 වන දින භෝපාල් හි පිහිටි ඇගේ විවාහක නිවසේදී ඇය මියගොස් සිටියදී සොයාගන්නා ලදී.

නීතිඥ සමර්ත් සිං සමඟ විවාහ වී මාස පහකට පසු ෂර්මා මෙසේ මියගොස් තිබූ අතර, විවාහයෙන් පසු ඇය හිරිහැරවලට සහ හිංසනයන්ට ලක් වූ බවට ඇගේ පවුලේ අය චෝදනා කළහ.

කෙසේ වෙතත්, සිං සහ ඔහුගේ මව වන විශ්‍රාමික විනිසුරු ගිරිබාලා සිං මෙම චෝදනා ප්‍රතික්ෂේප කරති.

තම චෝදනා පත්‍රයේ CBI ආයතනය චෝදනා කරන්නේ ෂර්මා ඇගේ සැමියා විසින් දිගින් දිගටම මානසික කෲරත්වයට ලක් වූ බවත්, ගිරිබාලා සිං තම පුතාගේ එම හැසිරීම දිරිමත් කළ බවත්ය. මෙම හිංසනයන් අවසානයේ ෂර්මා සියදිවි නසාගැනීමට පෙළඹවූ බව විමර්ශකයෝ පවසති.

ෂර්මාගේ පවුල මීට පෙර ඇගේ සැමියාට සහ නැන්දම්මාට ‘දෑවැදි හිරිහැර කිරීම්’ සම්බන්ධයෙන් චෝදනා කළ අතර, ඇයව ඝාතනය කර ඇති බවට ද චෝදනා කළහ.

සියදිවි නසා ගැනීමට අනුබල දීමේ වගන්ති ඇතුළත් කිරීමට CBI ආයතනය ගත් තීරණයෙන් පෙන්නුම් කරන්නේ විමර්ශකයන් මෙම මරණය සියදිවි නසාගැනීමක් ලෙස සලකන බව යැයි ඔවුන්ගේ නීතිඥවරයා පැවසීය.

මෙම විමර්ශනය තවදුරටත් කරගෙන යෑමට අවසර ඉල්ලා ඇති අදාළ ඒජන්සිය, වැඩිදුර සාක්ෂි මතුවුවහොත් අතිරේක චෝදනා පත්‍රයක් ගොනුකළ හැකි බව ද සඳහන් කළේය.

ගිරිබාලා සිංගේ නීතිඥවරයා පැවසුවේ මීට පෙර එල්ල වූ ඝාතන සහ දෑවැදි හිරිහැර පිළිබඳ චෝදනා සනාථ කරන කිසිදු සාක්ෂියක් විමර්ශකයන්ට හමු වී නොමැති බවයි.

ෂර්මා ගැබ්ගැනීමෙන් පසු දෙපාර්ශවය අතර තත්ත්වය වඩාත් උග්‍ර වූ බවට ද ඇගේ පවුලේ අය චෝදනා කර ඇති අතර, ඇගේ සැමියා සහ නැන්දම්මා දරුවාගේ පීතෘත්වය ප්‍රශ්න කරමින් දරුගැබ විනාශ කිරීමට ඇයට බලපෑම් කළ බවට චෝදනා කරති.

කෙසේවෙතත්, ගිරිබාලා සිං එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් කියාසිටින්නේ ගබ්සාව සිදුකිරීමට ෂර්මා විසින්ම තීරණය කළ බවයි.

2012 වසරේ මිස් පුනේ (Miss Pune) කිරුළ දිනාගත් ෂර්මා නිරූපණ ශිල්පිනියක, රංගන ශිල්පිනියක සහ අලෙවිකරණ ක්ෂේත්‍රයේ වෘත්තිකයකු ලෙස කටයුතු කර තිබිණි.

ඇය වෙළඳ දැන්වීම් ව්‍යාපාර කිහිපයකට සහ තෙළිඟු භාෂා චිත්‍රපටයකට ද රංගනයෙන් දායක වී ඇත.