June 14, 2026

මහියංගණ රජමහා විහාරස්ථානයේ කෞතුකාගාරයෙන් පසුගිය අඟහරුවාදා අතුරුදහන් වුණා කියපු ඓතිහාසික ලෝකඩ බුදු පිළිමය, හොරුත් එක්කම මහනුවර ප්‍රදේශයේදී පොලිස් දැලට හසුකර ගැනීමට හැකිවී තිබෙනවා.

මේ පිළිමය සාමාන්‍ය එකක් නෙවෙයි, 5 වැනි සහ 8 වැනි සියවස්වලට අයත්, කිලෝ 40ක් බරැති ඉතා වටිනා පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත එකක්. ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් පතිරණට ලැබුණු රහසිගත තොරතුරකට අනුව ක්‍රියාත්මක වුණු පොලිස් කණ්ඩායමක්, මෙම බුදු පිළිමය වාහනයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් තිදෙනෙක්ව මඟ හරස් කර අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහියංගණ රජමහා විහාරාධිපති පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමියන් පවසන පරිදි, මේ හොරු කණ්ඩායම කෞතුකාගාරයට ඇතුළු වෙලා තියෙන්නේ හරිම සූක්ෂම විදිහටයි. ඔවුන් කෞතුකාගාරය අසල තිබූ ගසකට නැඟ, එතැනින් ඉහළ මහලට ගොස් දොරක් කඩා ඇතුළට පැන තිබෙනවා.

හැබැයි මේ සොරකම සිදුවන අවස්ථාවේ කෞතුකාගාරයේ තිබුණු CCTV කැමරා පද්ධතිය ක්‍රියා විරහිත වී තිබීම විශේෂත්වයක්. ක්‍රියාත්මක වී තිබෙන්නේ ගොඩනැඟිල්ලේ පිටුපස සවිකර තිබූ එකම එක කැමරාවක් පමණක් බවයි උන්වහන්සේ වැඩිදුරටත් පවසා ඇත්තේ.

කොහොම වුණත් වටිනා ජාතික සම්පතක් හොරකම් කරපු මේ සැකකරුවන් තිදෙනාව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.