April 3, 2026

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා පාතාල කල්ලි නායකයකු වන සලිඳු නමැත්තා විසින් එවකට ඔහුගේ සමීපතම සංවිධානාත්මක අපරාධකරුවකු වන නිලංග නොහොත් මාළුවා සහ ඔහුගේ සහචරයන් 04 දෙනකු එක්ව 2021.07.11 වන දින පානදුර දකුණ පොලිස් වසමේ පිංවල සුසාන භූමියේදී පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන ඇසින් දුටු සාක්ෂිකරු වන සඳුන් උදාර අල්විස් නොහොත් ‘හාවා’ නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන පුද්ගලයා 2024.08.03 වන දින අතුරුදන් වී ඇති බවට හිරණ පොලිස් ස්ථානයට වාර්තා වී තිබිණි.

එම අපරාධය සම්බන්ධයෙන් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණ නඩු අංක 23102/2024 යටතේ අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය විසින් දිවයින පුරා සිදුවන මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධකරුවන් පිළිබඳව විමර්ශන සිදුකර අත්අඩංගුවට ගැනීම සඳහා වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය වෙත ලබාදී ඇති පූර්ණ බලතල අනුව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල විසින් එහි ආරම්භක පියවරක් ලෙස සලිඳු හා නිලංග ඇතුළු පාතාල කල්ලි සාමාජිකයන් විසින් සිදුකරන ලද මනුෂ්‍ය ඝාතනය සඳහා දැනට පානදුර අධිකරණයේ විභාග වන නඩු කටයුත්තේ ප්‍රධාන ඇසින් දුටු සාක්‍ෂිකරු වන සඳුන් උදාර නොහොත් හාවා නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන පුද්ගලයා අතුරුදන්වීමක් නොව, එම නඩුවේ ප්‍රධාන සාක්‍ෂිය විනාශ කිරීම සඳහා නිලංග ඇතුළු පාතාල කල්ලි සාමාජිකයන් විසින් සිදුකරන ලද මනුෂ්‍ය ඝාතනයක් බවට අනාවරණය කරගෙන තිබේ.

ඒ අනුව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගලසහ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉන්දික වීරසිංහ විසින් සකස් කරන ලද සැලසුමකට අනුව එම බළකායේ පොලිස් පරීක්‍ෂක චතුරංග සහ උප පොලිස් පරීක්‍ෂක ජයවීර ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා විමර්ශන ආරම්භ කර ඇත.

එම විමර්ශනයට අනුව මෙම මනුෂ්‍ය ඝාතනය සිදුකළ ඇඹිලිපිටියේ සුරංග නමැත්තා හා අතුරුදන් වන අවස්ථාවේදී ඝාතනයට ලක් වූ පුද්ගලයා ධාවනය කරමින් සිටි ත්‍රිරෝද රථය එම ස්ථානයෙන් සූක්ෂ්ම ලෙස ඉවත් කර සඟවා තැබීමට කටයුතු කළ තරිඳු ගයාෂාන් නොහොත් මොණරා යන අය ද මෙම සාක්‍ෂි විනාශ කිරීම සඳහා ත්‍රිරෝද රථයේ වර්ණය වෙනස් කර චැසි හා එන්ජින් අංක කපාකොටා ඉවත් කිරීමට කටයුතු කර ඇති චමින්ද නානායක්කාර යන අයවලුන් විමර්ශනයෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ.

සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය කරන ලද කරුණු අනුව ඝාතනයට ලක් වූ සඳුන් උදාර අල්විස් නොහොත් හාවා නමැත්තා ධාවනය කරමින් තිබූ ත්‍රිරෝද රථය ගෝනපොල, ඔලබොඩුව ප්‍රදේශයේදී සොයාගෙන තිබූ අතර, ඝාතනය කළ පුද්ගලයාගේ මළසිරුර හොරණ පොලිස් වසමේ තිබ්බොටුගොඩ සුසාන භූමියේ වළ දමා ඇති බවට අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 2026.04.02 වන දින පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිත අතර ඝාතනය කර වළදමා ඇති දේහය ගොඩගෙන ඉදිරි විමර්ශන වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය මගින් සිදුකිරීමට නියමිතව ඇත.(දිවයින)