October 1, 2026

උඩු ගුවනේ පියාසර කරමින් තිබූ ගුවන් යානයකදී පිහි ඇනුමකට ලක්වී එහෙත් මගීන්ගේ ජීවිත බේරා ගත් ‘ෆ්ලයිඩුබායි’ ගුවන් යානයේ නියමුවා ඉන්දීය ජාතිකයෙකු බවත් ඔහු කපිතාන් ස්මිත් මච්ඡාර් බවත් ඊශ්‍රායල බලධාරීන් විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පැවසුවේ එම නියමුවා අසාමාන්‍ය ධෛර්යයක් පෙන්වූ සැබෑ වීරයෙකු බවයි.

“පිහි ප්‍රහාරයට ලක්ව බරපතල ලෙස තුවාල ලබා සිටියදී පවා, ඔහු ප්‍රහාරකයාට එරෙහිව සටන් කර නියමු කුටියේ දොර විවෘත කිරීමට කටයුතු කළා. ඒ හේතුවෙන් මගීන්ට සහ ගුවන් පිරිසට ප්‍රහාරකයා මෙල්ල කරගැනීමට හැකිවූ අතර, මහා ගුවන් අනතුරක් වැළකී ගියා” යනුවෙන් අග්‍රාමාත්‍ය නෙතන්යාහු ‘X’ ගිණුමේ සටහනක් තබමින් පවසා තිබේ.

මෙම සිදුවීමත් සමඟ, ඊශ්‍රායලය වෙත පියාසර කරන විදේශීය ගුවන් යානාවල නියමුවන් සම්බන්ධයෙන් දැනට පවතින ආරක්ෂක පරික්ෂණ තර කිරීමට ඊශ්‍රායලය තීරණය කර තිබේ. ඊශ්‍රායල අගමැති කාර්යාලයේ ප්‍රකාශක ඩොරොන් ස්පීල්මන් රොයිටර් පුවත් සේවයට පවසා සිටියේ, ඊශ්‍රායලයට පැමිණෙන සෑම ගුවන් යානයකම නියමුවන්ගේ අනන්‍යතාව පූර්වයෙන් තහවුරු කරගනිමින් දැඩි ආරක්ෂක පරීක්ෂාවන් සිදු කරන ලෙස අගමැතිවරයා උපදෙස් දී ඇති බවයි.

මේ අතර, සෞදි අරාබියේ ටබූක් නගරයේ රෝහලක ප්‍රතිකාර ලබන කපිතාන් මච්ඡාර්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ඉතා සමීපව විමසිලිමත් වන බව රියාද් හි පිහිටි ඉන්දීය තනාපති කාර්යාලය පවසයි.

ඔහු දැනට ස්ථාවර සෞඛ්‍ය තත්ත්වයක පසුවන බවත්, ඔහුගේ පවුලේ සමාජිකයන් සමඟ නිරන්තර සම්බන්ධතාවයෙන් පසුවන බවත් ප්‍රකාශ කරන ඉන්දීය තානාපති කාර්යාලය, ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර සිටියි.

ජාත්‍යන්තරයේ දැඩි අවධානයක් යොමු වූ මෙම සිදුවීමට පාදක වූයේ ඩුබායි සිට ඊශ්‍රායලයේ ටෙල් අවීව් බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක නියමුවන් දෙදෙනාගෙන් එක් අයෙකු අනෙක් නියමුවාට පිහි ඇනුමක් සිදු කර යානයේ පාලනය තමාට නතු කර ගැනීමට උත්සහ කිරීමයි.

එහිදී ප්‍රහාරයට ලක්වූ නියමුවා තමාට තුවාල සිදුව තිබියදී පවා ගුවන් නියමු කුටියේ දොර විවර කර කාර්යය මණ්ඩලය සහ මගීන්ගේ සහය ඇතිව ප්‍රහාරය එල්ල කළ නියමුවා මෙල්ල කර ගැනීමට සමත්ව තිබිණි.

අනතුර සිදුවන අවස්ථාවේ යානය තුළ මගීන් 174 ක් සිටි අතර ඉන් 27 දෙනෙකු දරුවන් බව වාර්තා වේ.