July 10, 2026

කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක් චතුරස්‍රයේ පිහිටි අක්කර 4.3 ක ඉඩම ඉන්දියාවේ සමාගමකට වසර 99 කට බදු දීමට අදාළ මහා පරිමාණ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් (ක්‍රිෂ් ගනුදෙනුව) සිදුකරන විමර්ශනවලදී ලැප්ටොප්, ජංගම දුරකථන ඇතුළු සන්නිවේදන උපකරණ 41ක් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තු අනුව අත්අඩංගුවට ගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පැවසීය.

ක්‍රිෂ් ගනුදෙනු මුදල් ප්‍රේෂණය කිරීමට අදාළව මෙරට හා විදේශ රටවල බැංකු ගිණුම් විවෘත කළ පුද්ගලයන්ගේ හා ඔවුන් සේවය කළ සමාගම්වලට අයත් එකී උපකරණ රජයේ රසපරීක්ෂකවරයා වෙත යොමුකර වාර්තා ලබාගැනීමට පියවර ගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගමට වාර්තා කළේය.

අදාළ ගනුදෙනුවේදී ජර්මන් බැංකුවකින් යුරෝ 1,200,000 ක් සහ ඕස්ට්‍රේලියානු බැංකුවකින් යුරෝ 1,497,446 ක් මෙරට බැංකු ගිණුම් වෙත සම්ප්‍රේෂණය වී ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි වාර්තා අනාවරණය වීමෙන් අනතුරුව 2025 වසරේදී ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ආරම්භ කළ බවත් එහිදී අධිකරණයට පෙන්වාදුන් විමර්ශන නිලධාරීහු මෙම ගනුදෙනුවේදී හම්බන්තොට හා නුවරඑළිය දිස්ත්‍රික්කවල රෝහල් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අදාළව මුදල් හුවමාරු වී ඇති බව කියාසිටියහ.

එලෙස හුවමාරු වූ මුදල්වලින් රුපියල් මිලියන 188 ක් යොදවා මෙරට දේපළ මිලදී ගැනීමක් සම්බන්ධයෙන් ද විමර්ශන සිදුකරන බව විමර්ශන නිලධාරීහු පැවසූහ.

ක්‍රිෂ් ගනුදෙනුවේදී රුපියල් මිලියන 70 ක් වංචා කිරීමට අදාළව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන සිදුකරන බවද අධිකරණයට පෙන්වාදුන්හ.

අධිකරණය විසින් නිකුත් කළ සෝදිසි වරෙන්තුවක් අනුව අත්අඩංගුවට ගත් ජංගම දුරකථනයක හිමිකරු වන ඩී.ඒ.ජී. සිල්වා නැමැත්තා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, එම ජංගම දුරකථනයේ මුර පදය විවෘත අධිකරණය හමුවේදී විමර්ශන නිලධාරීන්ට භාරදුන්නේය.

සිය සේවාදායකයා විමර්ශන සඳහා අවශ්‍ය සියලුම සහාය ලබාදෙන බව නීතිඥ සංජය මාරඹේ, පසන් කරුණාරත්න හා ගීත් කරුණාරත්න යන නීතිඥ මණ්ඩලය සමඟ ජංගම දුරකථන හිමිකරු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණයට දැනුම්දුන්නේය.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කරන ලැබූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විමර්ශනවල ප්‍රගතිය කඩිනමින් අධිකරණයට වාර්තා කරන ලෙසට විමර්ශන නිලධාරීන්ට නියෝග කොට විමර්ශන ගොනුව බහා තැබීමට නියෝග කළේය.