April 3, 2026

කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩකිරීමට අනුමැතිය ලබාදීම සඳහා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියන 64ක කප්පම් මුදලක් ඉල්ලා තර්ජනය කිරීමේ සිද්ධියට වරදකරු වූ බස්නාහිර පළාත් මහ ඇමැතිවරයාව සිටි හිටපු ඇමැතිවරයෙක් ද වන ප්‍රසන්න රණතුංගට රුපියල් මිලියන 25ක දඩයක් ගෙවීමට කොළඹ මහාධිකරණය ඊයේ (02දා) නියෝග කළේය.

විත්තිකරු වරදකරු කරමින් කොළඹ මහාධිකරණය දුන් තීන්දුව බලරහිත කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක නියෝගය ප්‍රකාශ කරමින් මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මේ බව දැනුම්දුන්නේය.

හිටපු ඇමැති ප්‍රසන්න රණතුංගට එරෙහිව මෙම නඩුව පවරා තිබුණේ, 2015 වසරේ අප්‍රේල් 10දා ඉඩමක් ගොඩකිරීමට අවසර දීම සඳහා එස්. ක්‍රිස්ටියන් ගිහාන් මෙන්ඩිස් නමැති මොරටුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියන 64ක මුදලක් ඉල්ලා ඉන් රුපියල් මිලියන 15ක් ලබා ගනිමින් බියගන්වා මුදල් අයකිරීමේ චෝදනාවටය.

ප්‍රසන්න රණතුංගට අමතරව ඔහුගේ බිරිය වන මොරිස් ස්ටෙලා රණතුංග සහ නරේන් කුමාර් ෆාරික් යන අය විත්තිකරුවන් ලෙස නම්කර අධිචෝදනා 5ක් යටතේ කොළඹ මහාධිකරණය ඉදිරියේ නීතිපතිවරයා මෙම නඩු පවරා ඇත.

චුදිතයන්ට විරුද්ධව දණ්ඩ නීති සංග්‍රහයේ 113 (අ), 102, 373 යටතේ චෝදනා ගොනුකිරීම සිදුවිය.

3 වැනි විත්තිකරු වන කුමාර් ෆාරික් නඩුවට ඉදිරිපත් නොවීය.

එම නිසා අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 241 වැනි වගන්තිය යටතේ චුදිත නොමැතිව නඩුව විමසන ලදී.

නඩු විභාගයේදී පැමිණිල්ල වෙනුවෙන් එස්. ක්‍රිස්ටියන් ගිහාන් මෙන්ඩිස් නමැති ව්‍යාපාරිකයා ඇතුළු සාක්ෂිකරුවන් 7 දෙනකු ඉදිරිපත් විය.

අනතුරුව විත්තිය වෙනුවෙන් 2 වැනි විත්තිකාර ස්ටෙලා රණතුංග විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කළාය.

මෙයට අමතරව ආර්.පී. නුවන් රාජපක්ෂ යන අය විත්තිය වෙනුවෙන් සාක්ෂි දෙන ලදී.

මෙම නඩුව විභාග කළ කොළඹ මහාධිකරණය 2022 ජූනි 06 වැනිදා සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ප්‍රසන්න රණතුංග වරදකරු බව තීන්දු කළේය.

චුදිතට බරපතළ වැඩ සහිතව වසර 2ක සිරදඬුවමක් නියම කළ අධිකරණය එය වසර 5කට අත්හිටවූයේය.

මීට අමතරව රුපියල් මිලියන 25 ක දඩයක් සහ අගතියට පත් ව්‍යාපාරිකයාට රුපියල් මිලියනයක වන්දි මුදලක් ගෙවන ලෙසත්, දඩ මුදල නොගෙවන්නේ නම් තවත් වසර නවයක සිරදඬුවමක් පනවන ලෙසත් අධිකරණය නියම කළේය.

නඩුවේ දෙවැනි විත්තිකාරිය වූ චුදිතගේ බිරිය නිදහස් කෙරිණි.

කොළඹ මහාධිකරණය නිකුත් කළ නියෝගයට එරෙහිව විත්තිකරු අභියාචනයක් ඉදිරිපත් කළේය.

එම පෙත්සම මායාදුන්නේ කොරයා, පී. කුමාරන් රත්නම්, ශශී මහේන්ද්‍රන්, දමිත් තොටවත්ත සහ අමල් රණරාජා මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවන ලදී.

එහිදී ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා පෙත්සම්කාර ප්‍රසන්න රණතුංග වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළේය.

තම සේවාදායකයාට නියම වී තිබෙන වන්දි මුදල් සහ දඩ මුදල ගෙවීමට කාලය ලබාදෙන්නේ නම් මේ අභියාචනය ඔහු විසින් ඉල්ලා අස්කර ගැනීමට සූදානම් බව ජනාධිපති නීතිඥවරයා එහිදී සඳහන් කළේය.

එම ඉල්ලීමට විරුද්ධ වන්නේ දැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි සහ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්නගෙන් විනිසුරු මඬුල්ල විමසීමක් කළහ.

ඊට තමන් විරුද්ධ නොවන බව ද, අධිකරණයට පැවරී තිබෙන බලතල අනුව සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙස ද එම නීතීඥවරු එහිදී සඳහන් කළහ.

ඒ අනුව අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අධිකරණය අවසර දුන්නේය.