July 31, 2023

රටේ බල සිතියම මේ වන විට වෙනස්වී ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවැසීය.

දිවුලපිටිය ආසන සමුළුව අමතමින් හෙතෙම සඳහන් කරන ලද්දේ, රට මුහුණදී සිටින වර්තමාන අර්බුදය ස්වාභාවිකව ඇතිවූ එකක් නොව දේශපාලකයන් විසින් නිර්මාණය කරන ලද්දක් බවයි.

අඛණ්ඩව බලය පවත්වාගෙන යෑම වෙනුවෙන් පාලකයන් සෑම විටම ජාතීන් අතර ගැටුම් ඇති කළ බවද ජාතික ජන බලවේගයේ නායකයා පෙන්වාදුන්නේය.

හෙතෙම එහිදී මෙසේද පැවැසීය.

“බලය එයාලා අත තබාගන්න කරන එක උපක්‍රමයක් තමයි ජාතීන් අතර ගැටුම් ඇති කිරීම. ශ්‍රී ලංකා, යූ.එන්.පී. ලෙස පක්ෂවලට බෙදා, එකිනෙකා අතර පරම්පරාගත වෛරයක් ඇති කළා. යූ.එන්.පී. ආණ්ඩුවක් ආ විට ශ්‍රී ලංකා පාක්ෂිකයාගේ රැකියාව අහිමි කිරීම, සමෘද්ධිය කැපීම, පළිගැනීමත් කළා. ශ්‍රී ලංකා ආණ්ඩුවක් ආ විට යූ.එන්.පී. පාක්ෂිකයාව එවැනිම ආකාරයෙන් පීඩාවට පත්කළා. මෙසේ එකිනෙකා අතර පරම්පරාගත වෛරයක් ගොඩනැගුවා. ඒගොල්ලෝ එකතු වෙලා අපිව බෙදලා බලය පවත්වාගෙන ආවා. ජනතාව බෙදනවා. ඒගොල්ලෝ එකට ඉන්නවා. අපේ මුත්තලා, සීයලා, තාත්තලා, අපිවත්, අපේ දරුවනුත් ඒගොල්ලෝ පාලනය කළා.

දැන් ඒ බල සිතියම වෙනස්වෙලා.පරම්පරාවලට එළලා තිබෙන බල සිතියම නිෂ්ක්‍රීය කරලා ජනතාවගේ නව බල සිතියමක් ජාතික ජන බලවේගයත් සමග ගොඩනැගී තිබෙනවා. ඔබ ගමට යන්න. ජනතාව තව තවත් දැනුවත් කරන්න. මේ රටේ බලය ගන්න විතරක් නොවෙයි, මේ රට හදන්නත් ඕනෑ. මේ රට හදන්න පුළුවන්. අපට ආර්ථික සැලැස්මක් ඕනෑ, මේ රට පොහොසත් කරන්නත්, ජනතාව පොහොසත් කරන්නත්. මේ අර්බුදය නිර්මාණය කළේ දේශපාලකයෝ. මේ ළිඳට වැටුණේ දේශපාලනය කියන ළිං ගැට්ටෙන්. අපි ගොඩ එන්න ඕනෙත් මේ දේශපාලනයෙන්. මේ අර්බුදය ස්වභාවික ව්‍යසනයක නිසා ඇතිවූ දෙයක් නෙවෙයි. දේශපාලකයා විසින් ඇති කළ එකක්. අපි කාගෙත් වගකීම මේක වෙනස් කිරීමට කැපවීම. මේ ව්‍යසනයෙන් මේ මාතෘභූමියත්, ජනතාවත් ගලවා ගත යුතුයි”.