
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බුදු දහම ඇතුළු අන්‍යාගම්වලට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකළේ යැයි රක්ෂිත බන්ධනාගාරගත කර සිටින දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විවිධ නඩුකර ඉදිරිපත් කරමින් මෙරට අපරාධ යුක්ති ක්‍රියාදාමය අවභාවිතයට ලක්කරමින් සිටින බව සර්ව ආගමික නායකයන් වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අද (19) අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම අද ලිඛිත දේශන ඉදිරිපත් කිරීම සඳහා අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයේ පෙත්සම්කාර දේවගැතිවරයා තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මුලින්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනුකළ බව සඳහන් කළේය.
එම කරුණට අදාළවම අභියාචනාධිකරණය හමුවේ ද තවත් රිට් පෙත්සමක් ඉදිරිපත් කළ අතර පසුව අධිකරණය විසින් එය සළකා බැලීමට සූදානම් වූ අවස්ථාවේදී ඔහු විසින්ම එය ඉල්ලා අස්කරගෙන පසුව එම කරුණට අදාළව තවත් පෙත්සමක් ඉදිරිපත් කළ බවත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කළේය.
මෙලෙස පෙත්සම්කරු විවිධ අධිකරණවලට පෙත්සම් යොමුකරමින් නීතිය මඟහැර යෑමට උත්සාහ කර ඇතැයි චෝදනා කළ ජනාධිපති නීතිඥවරයා, මේ තුළින් ඔහු මෙරට අපරාධ යුක්ති ක්‍රියාදාමය අවභාවිතයට ලක්කර ඇති බවත් චෝදනා කර සිටියේය.
මේ අතර, දේවගැති ජෙරොම් ප්‍රනාන්දුගේ සහ ඔහුගේ බිරිඳගේ ගිණුම්වල රුපියල් බිලියන 12.26ක මුදලක් තිබියදී, මුදල් විශුද්ධිකරණය යටතේ ඔහුට එරෙහිව පරීක්ෂණ පවත්වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත්තේ අක්‍රමවත් ආකාරයට බව නීතිපතිවරයා ඊයේ අභියාචනාධිකරණයට දැනුම් දී ඇත.
සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුති (ICCPR) පනතේ කොන්දේසි කඩකිරීමේ චෝදනා සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට නියමිත කොළඹ කොටුව මහේස්ත්රාත්වරයාගේ නියෝගයට එරෙහිව දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ගොනුකළ රිට් අයදුම්පතක් විභාගයට ගත් අවස්ථාවේදී මේ බව අනාවරණය වී තිබේ.
අභියාචනාධිකරණය එම රිට් අයදුම්පත්‍රයේ නියෝගය දෙසැම්බර් 20 වැනිදාට කල්තබා ඇත්තේ, එම නඩුව ජ්‍යෙෂ්ඨ විනිසුරු ඩී.එන්. සමරකෝන් ඉදිරියේ ඊයේ කැඳවූ අවස්ථාවේදීය
නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නීතීඥ ශාමින්ද වික්‍රම අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, එම අයදුම්පතේ සුදුසුකම්වලට නොගොස් ආරම්භයේදීම ප්‍රතික්ෂේප කළ යුතු බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart