May 20, 2025

ජෝර්ජියානු ගුවන් තොටුපොළකදී ගංජා කිලෝග්‍රෑම් 14ක් ජාවාරම් කිරීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වී දිනක් ඇතුළත, සැතපුම් 3,000ක් දුරින් පිහිටි ශ්‍රී ලංකාවේදීද තවත් බ්‍රිතාන්‍ය ජාතික තරුණියකට එම චෝදනාවටම ලක්වීමට සිදුවිය.

පසුගිය සඳුදා, කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේදී 21 හැවිරිදි ‘චාලට් මේ ලී’ සිය ගුවන් යානයෙන් බැස යන විට, රේගුව විසින් පවුම්1.2ක් වටිනා කෘත්‍රිම කංසා වර්ගයක්(කුෂ්) රැගෙන ඒමට උත්සාහ කිරීමේ චෝදනාව මත ඇයව අත්අඩංගුවට ගන්නා ලදී.

අදාළ තරුණ කාන්තාවන් දෙදෙනාම බැංකොක්හි සුවර්ණභූමි ගුවන් තොටුපළෙන් තනිවම ගුවන් ගතවී ඇත.

මෙම සිදුවීම් දෙක අතර පැහැදිලි සම්බන්ධයක් ජෝර්ජියානු සහ ශ්‍රී ලංකා බලධාරීන් විසින් සිදුකරනු ලබන විමර්ශනවල අනාවරණය වෙමින් පවතින බව බ්‍රිතාන්‍යයේ The Guardian පුවත් සේවය වාර්තා කරයි.

සංවිධානාත්මක අපරාධ කල්ලි වෙනුවෙන් මෙම කාන්තාවන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට වන සැකය මත පදනම්ව විමර්ශන සිදුකෙරෙමින් පවතී.

ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගත්, දකුණු ලන්ඩනයේ පදිංචි ‘ලී’ වරදකරු වුවහොත් වසර 25ක සිර දඬුවමකට යටත් විය හැකි අතර, ඩර්හැම් ප්‍රාන්තයේ පදිංචි 18 හැවිරිදි කලීට වසර 20ක සිරදඬුවමක සිට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් නියමවීමට නියමිත බව ජෝර්ජියාවේ නඩු පවරන්නෝ පවසති.

2021 පෙබරවාරි මාසයේදී කංසා කොළ භාවිතය සහ මිලදී ගැනීම නීතිගත කළ ආසියාවේ පළමු රට බවට තායිලන්තය පත්වූ අතර, 2022 ජුනි මාසයේදී මුළු ශාකයම නීතිගත කළේය.

තායි බලධාරීන් ඔවුන්ගේ බන්ධනාගාර පද්ධතියේ තදබදය අඩුකිරීමට මෙම අපියවර ගත් බව ප්‍රකාශ විය.

දැන් ලැබෙන සාක්ෂිවලින් පෙනීයන්නේ, එහි ප්‍රතිඵලය අන්තර්ජාතික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට දොරටු විවර කර ඇති බවයි.

ඔවුහු අහිංසක තරුණ සංචාරකයන් මෙම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ පහසු ගොදුරක් ලෙස සලකති.

පසුගිය ගිම්හානයේදී, එක්සත් රාජධානියේ ජාතික අපරාධ ඒජන්සිය (NCA) තායිලන්තය, ඇමරිකා එක්සත් ජනපදය සහ කැනඩාවෙන් කංසා රැගෙන එන අයට දැඩි සිරදඬුවම් නියම කරන බවට අනතුරු ඇඟවීමක් නිකුත් කළේ මෙම තත්වය පදනම් කරගනිමිනි.

මෙම අනතුරු ඇඟවීමට හේතුව වූයේ එක්සත් රාජධානියේ ගුවන්තොටුපළවල අනාවරණය වී අත්අඩංගුවට ගන්නා කංසා ප්‍රමාණයේ විශාල වැඩිවීමක් පෙන්නුම් කිරීමයි.

පෙර වසරේ ටොන් පහක් පමණක් වූ එම අගය 2024 දී ටොන් 27 කට ආසන්න ප්‍රමාණයක් දක්වා වර්ධනය වී ඇත.

2024 දී ගුවන්තොටුපළවලදී අත්අඩංගුවට ගත් ජාවාරම්කරුවන් 750 දෙනාගෙන් 460 දෙනකු තායිලන්තයෙන් පැමිණ ඇති බව අනාවරණය වී තිබේ.

ලී සම්බන්ධයෙන් ගත්කල, ඇය මීට පෙර ටුයි හි කැබින් සේවිකාවක් ලෙස කටයුතු කර ඇති අතර, ඇහිබැමි පිළිබඳ විශේෂඥ රූපලාවන්‍ය චිකිත්සකවරියක් ලෙස පුහුණුව ලබමින් සිට තිබේ.

කෙසේවෙතත් ඇය මුදල් හිඟකමින් පිඩා විඳිමින් සිට ඇති බව අනාවරණය වී ඇත.

කොළඹ ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් ප්‍රකාශයට පත් කරන ලද ඡායාරූපවලින් පෙනීයන්නේ ලීගේ ගමන් මලුවල තිබූ බව කියන මත්ද්‍රව්‍ය විශාල රික්තක ඇසුරුම් කළ බෑග්වල තිබූ බවත්, එය ඉහළ මට්ටමේ වෘත්තීයභාවයක් පෙන්නුම් කරන බවත්ය.