
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඊශ්‍රායලයේ අගමැති නෙතනියාහු ගාසා තීරයේ මහා මනුෂ්‍ය සංහාරයක් පටන් ගත්ත දවස්වල මම ඒ ගැන එක්සත් ජනපදයේ ඉන්න ශ්‍රී ලාංකික මිතුරන් කිහිප දෙනෙකුට කථා කළා. ඒ හැම දෙනාම කථා කළේ ලොකු බයකින්.
නෙතනියාහු ගේ ජන සංහාරය ගැන ප්‍රසිද්ධියේ කථා කරන්න, ට්‍රම්ප් යටතේ ඇමෙරිකාවේ සිද්ධවෙන මර්දනය ගැන කතාකරන්න ඒ කවුරුවත් කැමති වුණේ නෑ. බය නැතුව කථා කරපු, පාරට බැහැපු විශ්වවිද්‍යාල ඇදුරන් සහ මහාචාර්යවරියන්ට පවා ට්‍රම්ප් ගේ පොලිසිය පාරේ බිම දමාගෙන පහර දීපු හැටි අපි දැක්ක. විශ්වවිද්‍යාලවල සේවය කරන මගේ ශ්‍රී ලාංකික මිතුරන් කිහිප දෙනෙක්ම කිවුවේ කට ඇරියොත් ඊට පස්සේ විශ්වවිද්‍යාලෙ රස්සාව කරන්න ලැබෙන එකක් නැහැ කියල.
හාවර්ඩ් වගේ ලෝකයේ ඉහළම පෙළේ විශ්වවිද්‍යාල තියෙන, නවීන තාක්ෂණයෙන් අගතැන්පත්, මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය සහ භාෂණයේ නිදහස ගැන මුළු ලෝකෙටම බණ කියන රටක ජීවත්වෙන සංක්‍රමණිකයෝ හැම දෙනාම වගේ ඩොනල්ඩ් ට්‍රම්ප් කියන උන්මත්තක ව්‍යාපාරිකය බලයට ආපු වෙලාවේ ඉඳල ඉන්නේ බයෙන් තැතිගැනිලා.
කොටින්ම ඇමෙරිකා එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස, මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය දැන් එහෙම පිටින්ම වැළලිලා ගිහින්. ඒ රටේ ඉන්න සමහර සංක්‍රමණිකයන් දැන් එක්සත් ජනපදයේ පුරවැසියන්. ඒ කියන්නේ ඔවුන්ට USA පාස්පෝට් එක තියෙනව.
ඒත් පාස්පෝට් තිබුණත්, නැතත් දැන් ඒ ගොඩක් දෙනා අත්‍යවශ්‍යම දේකට ඇරෙන්න එලියට බහින්න පවා බයයි. තමන්ගේ හැම ගමනක්, බිමනක් ගැනම සමාජ මාධ්‍යවල පළකරන අදහස් ගැන මේ හැම දෙයක් ගැනම FBI එක ඔත්තු බලමින් ඉන්නවා කියල ඔවුන් කියනවා. කොයි වෙලාවේ FBI එකෙන් ඇවිල්ල කුදලාගෙන යාවිද කියල ඔවුන් ඉන්නේ චකිතයෙන්. සමහරු කිවුවේ අපි ලංකාවේ දාල ආවේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කියල. ඒත් දැන් ඒ ගොඩක් දෙනා ඉන්නේ කලකිරීමෙන්, බයෙන්. කොටින්ම සංදේශය වෙනුවෙන් ට්‍රම්ප් ගැන හෝ, නෙතනියාහු ගැන හෝ, මධුරෝ ගැන හෝ අදහසක් ගන්න මට කිසිම ශ්‍රී ලාංකිකයෙක් හොයාගන්න බැරි වුණා.
මහින්ද පතිරණත් Mahinda Pathirana ගොඩක් කරුණු ලියල තිබුණ. ඔහු ට්‍රම්ප් ගැන කියන දේවලට අඩු, වැඩි වශයෙන් මමත් එකඟයි. ඒත් මහින්ද ගේ හාම්පුතාල – බැසිල් සහ ගෝඨාභය – සහය දුන්නෙත් ට්‍රම්ප් ට.
බොරු මත්ද්‍රව්‍ය චෝදනාව
කොහොම හරි ලෝකයේ බලවත්ම රටේ මිනිස්සු ඡන්දයෙන් පත්කරගත්ත උමතු ආඥාදායකයා (හිට්ලර් මුලින්ම බලයට ආවෙත් ඡන්දයෙන්) වෙනිසියුලාවේ ජනතාවට සාමය උදාකරන්න කියල නිකොලස් මදුරෝ කියන ඒකාධිපතිය පැහැරගෙන ආවේ තමන්ගේ රටේ ඒ වගේ “භීෂණ” වාතාවරණයක් තියෙද්දී. (සංදේශය වීඩියෝව පළමු කොමෙන්ටුවේ) ලෝකයේ ලොකුම “ප්‍රජාතන්ත්‍රවාදී” රටේ මැතිවරණ ක්‍රමයෙන් පවා සමහර වෙලාවට ඒ රටේ සැබෑ ජනමතය නියෝජනය වෙන්නෙත් නැහැ. ට්‍රම්ප් ගේ කොන්සර්වේටිව් පක්ෂය ඒ මැතිවරණ ක්‍රමය වෙනස්කරන්න දෙන්නෙත් නැහැ. ඒ නිසා කිහිප වතාවක්ම ජනාධිපති පදවියට පත්වුණේත් වැඩිම ඡන්ද ගත්ත පුද්ගලයා නෙවෙයි. අනික අධිකරණයත් සම්පූර්ණයෙන්ම පක්ෂ දේශපාලනයට බැඳුන එකක්. පක්ෂයකින් නම් කළාට පස්සේ පත්වෙන ෆෙඩරල් විනිශ්චයකාරවරයා හෝ වරිය කවදාවත් විශ්‍රාම යන්නේ නැහැ. ඔවුන් මිය යන තුරුම පදවිය දරනවා. උදාහරණයක් විදියට මධුරෝ ගැන නඩුව අහන විනිශ්චයකරුගේ වයස අවුරුදු 92ක්. මේ තරම් වයෝවෘද්ධ විනිශ්චයකරුවන් ගෙන් සාධාරණ විනිශ්චයක් බලාපොරොත්තු වෙන්න පුලුවන් කියල ඔබ හිතනවද?
මධුරෝ වෙනිසියුලාවේ ජනතාව පීඩාවට පත්කරපු හැටි මම කලින් සටහනක ලිවුවා. පැහැදිලිවම වෙනිසියුලාවේ ජනතාවට අවශ්‍ය වෙලා තිබුණෙ මදුරෝ එලවන්න. ඒත් කොයි තරම් අමාරු වුණත් ඒක කළ යුතුව තිබුනේ ඒ රටේ ජනතාව. අසල්වැසි රටක ඒකාධිපතියෙක් නෙවෙයි.
මත්ද්‍රව්‍ය ජාවාරමක් ගැන ට්‍රම්ප් මදුරෝ ට එල්ල කරපු චෝදනාව බොරුවක් බව දැන් මුළු ලෝකෙම දන්නවා. මදුරෝ අල්ලගත්ත දවසේ ඉඳල ට්‍රම්ප් හැසිරෙන විදියෙන් ඒක හොඳටම පැහැදිලියි. ට්‍රම්ප් දැන් කතා කරන්නේ මත්ද්‍රව්‍ය ගැන නෙවෙයි, ඛනිජ තෙල් නිධි ගැන. අනිත් ප්‍රධානම හේතුව මදුරෝ සහ චීනය අතර සමීප සම්බන්ධය. තමන් එක්ක සම්බන්ධතා අත් ඇරලා මදුරෝ චීනයත් එක්ක සමීප දේශපාලන සහ වෙළෙඳ සම්බන්ධතා පැවැත්වීම ට්‍රම්ප් ට රිස්සුවේ නැහැ. වෙනිසුවෙලාවට අත තිබ්බ මදිවට දැන් ට්‍රම්ප් ග්‍රීන්ලන්තයටත් ගොරවනවා. කියුබාවට, ඉරානයට, කොළොම්බියාවට තර්ජනය කරනවා.
මේකේ අවසාන ප්‍රතිඵලය ට්‍රම්ප්, ඇමෙරිකාවේ මදුරෝ බවට පත්වීම වෙන්නත් පුළුවන්. මම දැක්ක දැනටමත් ඒ ගැන කාටුන් පවා ඇඳල තියෙනව.
මදුරෝ බලකොටුවේ අනුරුවක් ඇමෙරිකාවේ
මේ අතරේ ඇමෙරිකානු හමුදා කරාකස් අගනුවර කරපු ආක්‍රමණය ගැන අමුතු විස්තර ගණනාවක් පසුගියදා මාධ්‍යවල පළවුණා.
එකක් තමයි ට්‍රම්ප් ගෙන් තමන්ගේ ජීවිතයට තිබුණ තර්ජනය ගැන මදුරෝ හොඳින්ම දැනුවත්ව හිටිය කියන එක. විශේෂයෙන්ම ඔහු තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වෙනිසියුලානුවන් වෙනුවට කියුබානු ආරක්ෂකයින් තෝරාගෙන තිබුණ. ඇමෙරිකානු ප්‍රහාරයේදී 40 දෙනෙක් මියගිය බව වාර්තාවල දැක්වෙනවා. ඒ අතරින් 32ක් කියුබානු ආරක්ෂකයින්. ඔවුන් වෙනුවෙන් කියුබාව ජාතික ශෝක දිනයකුත් ප්‍රකාශයට පත් කළා.
මේ කිසිම ආරක්ෂකයෙකුට ජංගම දුරකතනයක් තබාගන්න පවා මදුරෝ අවසර දීල නැහැ. නමුත් මදුරෝ ගේ බලකොටුවේ හැම අස්සක්, මුල්ලක් නෑර හැම විස්තරයක්ම මාස ගණනක් තිස්සේ CIA ඔත්තුකරුවන්ට ලැබිල තිබුණ. CIA ප්‍රධානියෙක් කියල තිබුණෙ වෙනිසුවෙලා ආණ්ඩුවේ ප්‍රධානියෙකුත් – ඒ කියන්නේ මදුරෝ ගේ බලකොටුවට යන්න එන්න අවසර තිබුණ කෙනෙකුත් – තමන්ගේ ඔත්තුකරුවන් අතරේ හිටිය කියල. වෙනිසුවේලාව පැත්තෙන් ගත්තම ඒක ඇත්තටම බරපතල තත්වයක්. සමහර විට ඒ කතාව වෙනිසුවෙලාවේ වත්මන් ප්‍රධානීන් බිය ගන්වන්න හෝ ඔවුන් අතර ගැටුමක් හදන්න කියපු කතාවක් වෙන්නත් පුළුවන්. නමුත් කිසිම කරදරයකින් හෝ ලොකු ප්‍රතිප්‍රහාරයකින් තොරව මදුරෝ නිදාගෙන හිටපු තැනටම කඩා වදින්න ආක්‍රමණිකයින්ට හැකිවුනා කියන්නේ ඔවුන් ගේ ඔත්තු සේවාව ඉතාමත් ප්‍රබලයි කියන එක. ද්‍රෝන යානාවලට විතරක් ඒ දේ කරන්න බැහැ.
පසුගිය සති කිහිපයේම මදුරෝ එක තැනක නිදාගෙනත් නැහැ. ඔහු ස්ථාන 8ක් විතර වෙනස් කරමින් නිදාගත්ත බව තමයි පැවසෙන්නේ. ඒ අතරේ මාස ගණනක් තිස්සේ ඔත්තු බලමින් හිටපු ඇමෙරිකානු හමුදාව මදුරෝ ගේ බලකොටුව ප්‍රමාණයේම ආකෘතියක් ඒ සියලු ආරක්ෂක විධිවිධාන එක්කම ඉදි කරලා, යකඩ වැටවල් කඩාගෙන ඔහුගේ නිදන කාමරයට කඩා වදින හැටි ගැන ඔවුන් rehearsal කරලා තියෙනව.
ට්‍රම්ප් කියන්නේ දැන් වෙනිසුවේලාව පාලනය කරන්නේ අපි කියල. එක අතකට ඒ කතාව ඇත්ත. මදුරෝ ගෙන් පස්සේ ඩෙල්සි රොඩ්රිගස් අන්තර්වාර ජනාධිපති පදවියට පත්වුණත් දැන් රටේ තෙල් නිධි තියෙන්නේ ඇමෙරිකානු සමාගම් අතේ. එහෙම නොවුණොත් ආයෙත් වෙනිසුවෙලාවට කඩා වදින්න අතපසු කරන්නේ නැහැ කියල ට්‍රම්ප් කියනවා. ඒත් ට්‍රම්ප් ගේ මේ උමතු හැසිරීම පාලනය කරන්න මේ මොහොතේ ලෝකේ කිසිම බලවතෙක් නැහැ. ඒ නිසා ඇමෙරිකාවේ මිනිස්සු ඡන්දේ දීල පත්කරගත්ත ඒකාධිපතියා – ඩොනල්ඩ් ට්‍රම්ප් – මේ මොහොතේ ගොඩනගමින් ඉන්න Trump doctrine එක සමස්ත ලෝකයටම භයානක තර්ජනයක් බව අවිවාදිතයි.
– සරෝජ් පතිරණ
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart