July 13, 2023

සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, මැයි 30 වන විට ඖෂධ 111ක හිඟයක් පවතින බවත්, එම හිඟය තවදුරටත් අඩුවෙමින් පවතින බවත් ප්‍රකාශ කළද, මේ වන විට රට තුළ ඖෂධ 270ක හිඟයක් පවතින බව ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරියෙක් අනාවරණය කළේය.

පසුගිය අඟහරුවාදා (11) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මෙම අනාවරණය සිදුකළේය.

සෞඛ්‍ය ඇමැතිවරයා පසුගිය මැයි 31 වනදා ඩේලි මිරර් පුවත්පත වෙත අදහස් දක්වමින් පවසා තිබුණේ රට තුළ ඖෂධ 200 ක පමණ හිඟයක් පැවැති අතර, එය මේ වන විට 100 කට ආසන්න සංඛ්‍යාවක් දක්වා අඩු වී ඇති බවයි. ඉදිරි සති දෙක තුළ එය 60 හෝ 70 දක්වා පහත වැටෙනු ඇති අතර, මෙවැනි තත්වයන් ඉතිහාසයේද වාර්තා වී ඇති බවද ඇමැතිවරයා එහිදී පෙන්වාදී ඇත.

සෞඛ්‍ය ඇමැතිවරයා එසේ පැවසුවද, ඖෂධ හිඟය ඔහු සඳහන් කළ ප්‍රමාණයට බැස නොතිබෙන අතර, එය මේ වන විට වඩාත් නරක අතට හැරී ඇත.

අඟහරුවාදා ජනමාධ්‍ය හමුවට එක්වෙමින් වෛද්‍ය රත්නායක පැවසුවේ “රටේ ඖෂධ 1300ක් පමණ භාවිත වන අතර ඉන් 383ක් අත්‍යාවශ්‍ය ඖෂධ බවත්, 14ක් ජීවිතාරක්ෂක ඖෂධ බවත්ය.

කෙසේ වෙතත්, දැනට ඖෂධ 270 ක හිඟයක් පවතින අතර හැකි ඉක්මනින් ඒවා මිලදී ගැනීමට සැලසුම් කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.