August 21, 2026

බත්තරමුල්ල සුහුරුපාය ගොඩනැගිල්ලේ 17 වැනි මහලේ පිහිටි පොලිස් සහතික පත්‍ර අංශයේ පරිගණක පද්ධතියේ ඇති වූ හදිසි තාක්ෂණික දෝෂයක් හේතුවෙන්, පොලිස් නිෂ්කාශන වාර්තා ලබාගැනීමේ අයදුම්පත් භාරගැනීම සඳහා තාවකාලික ක්‍රමවේදයක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා පොලිසිය පියවර ගෙන ඇත.

අගෝස්තු 20 වැනිදා මධ්‍යහ්න 12:00 සිට මෙම පද්ධතිය අක්‍රිය වී ඇති අතර, එය යථා තත්ත්වයට පත්කිරීම සඳහා තාක්ෂණික කණ්ඩායම් මේ වන විටත් කටයුතු කරමින් සිටියි.

ඒ අනුව අයදුම්පත ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසියේ නිල වෙබ් අඩවිය වන www.police.lk වෙත පිවිස Download Application යන්න තෝරා අදාළ අයදුම්පත බාගත කර (Download) සම්පූර්ණ කළ යුතු වේ.

සම්පූර්ණ කරන ලද අයදුම්පත සමඟ ඔබේ ජාතික හැඳුනුම්පතේ (NIC) සහ විදේශගමන් බලපත්‍රයේ (Passport) පිටපත් clear.application@police.gov.lk
යන විද්‍යුත් තැපැල් ලිපිනයට විද්‍යුත් තැපෑලෙන් යොමු කළ යුතුය.

මෙම මූලික අදියරේදී කිසිදු ගෙවීමක් සිදුකළ යුතු නැති බව පොලිසිය කියයි.

පරිගණක පද්ධතිය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමෙන් පසුව, මෙම තාවකාලික ක්‍රමවේදය ඔස්සේ අයදුම් කළ සියලුම දෙනා නැවත වරක් සාමාන්‍ය පටිපාටියට අනුව ඔන්ලයින් (Online) පද්ධතිය හරහා අයදුම්පත ඉදිරිපත් කර අදාළ ගෙවීම් සිදුකිරීම අනිවාර්ය වේ.

පද්ධතිය අක්‍රිය වීමට පෙර ලේඛන භාරදුන් අයදුම්කරුවන්ට, තමන්ගේ සහතික නිකුත් කර තිබේදැයි නිල වෙබ් අඩවියෙන් පරීක්ෂා කළ හැක.

නිම කරන ලද සහතිකවල යොමු අංක (Reference numbers) වෙබ් අඩවියේ පළ කරනු ලැබේ.

යොමු අංකය පළ කර ඇති අයදුම්කරුවන්ට බත්තරමුල්ල සුහුරුපාය ගොඩනැගිල්ලේ 17 වැනි මහලට පැමිණ තම සහතිකය ලබාගත හැක.

විශේෂ පහසුකමක් ලෙස සෙනසුරාදා සහ ඉරිදා දිනවලදීද සහතික ලබාගැනීමේ සේවාව ක්‍රියාත්මක වේ.

තවමත් යොමු අංකය පළ නොවූ අයට පද්ධතිය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමෙන් අනතුරුව එම වාර්තා ලබාදීමට කටයුතු කරනු ඇත.