September 19, 2026

තම රට තුළ හමුදා මෙහෙයුම් සිදුකිරීමෙන් වළකින ලෙස තලේබාන් පාලනය පකිස්තානයට දැඩි ලෙස අනතුරු අඟවා තිබේ.

පකිස්තානයට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම සඳහා ත්‍රස්ත කණ්ඩායම් ඇෆ්ගනිස්තාන භූමිය භාවිතා කරන බවට ඉස්ලාමාබාද් පාලනය එල්ල කරන චෝදනා ද තලේබාන් සංවිධානය මෙහිදී ප්‍රතික්ෂේප කර ඇත.

Al Arabiya පුවත් සේවය සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් තලේබාන් මාධ්‍ය ප්‍රකාශක සබීහුල්ලා මුජාහිඩ් ප්‍රකාශ කළේ, පකිස්තානය ඇෆ්ගනිස්තානය තුළ ප්‍රහාරයක් එල්ල කළහොත් තම රටේ ස්වෛරීභාවය සුරැකීමට ඕනෑම පියවරක් ගන්නා බවයි.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 51 වන වගන්තිය අවභාවිත කරමින් පකිස්තානය ඇෆ්ගනිස්තාන භූමියේ පූජනීයත්වයට හානි කිරීමට උත්සාහ කළහොත්, මාතෘභූමිය ආරක්ෂා කරගැනීමේ අයිතිය ඇෆ්ගනිස්ථානය සතු බවත්, ඇෆ්ගනිස්ථානය එය අනිවාර්යයෙන්ම සිදු කරන බවත් පැවසූ මුජාහිඩ්, ඇෆ්ගනිස්තාන ස්වෛරීභාවයට එල්ල වන ඕනෑම තර්ජනයකට ප්‍රබල හා දැඩි පිළිතුරක් ලබාදෙන බවට ද අනතුරු ඇඟවීය.

ඇෆ්ගනිස්තානයට චෝදනා කිරීම වෙනුවට පකිස්තානය තම අභ්‍යන්තර ආරක්ෂක අභියෝගවලට තමන් විසින්ම විසඳුම් සොයාගත යුතු බවත්, තෙහ්රීක්-ඊ-තාලිබාන් පකිස්තාන් (TTP) සහ බලුච් කණ්ඩායම් සම්බන්ධ අභ්‍යන්තර ගැටලු තාලිබාන් සංවිධානය නැවත බලයට පත්වීමටත් පෙර සිට පැවැති ඒවා බවත් මුජාහිඩ් මෙහිදී පෙන්වා දුන්නේය.

TTP ත්‍රස්තවාදීන්ට ඇෆ්ගනිස්තානය තුළ රැකවරණය ලබාදෙන බවටත්, පකිස්තානයට එරෙහි ප්‍රහාර සැලසුම් කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට ඇෆ්ගනිස්තාන භූමිය භාවිත කිරීමට ඉඩ සලසන බවටත් පකිස්තානය දිගින් දිගටම තාලිබාන් පාලනයට චෝදනා කරයි. නමුත් තාලිබාන් සංවිධානය එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරයි.

2021 වසරේදී තාලිබාන් සංවිධානය කාබුල් නුවර බලය ඇල්ලීමෙන් පසු පකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර සබඳතා බෙහෙවින් පළුදු වූ අතර, මෙම වසරේ මුල් භාගයේදී එය සති කිහිපයක සන්නද්ධ ගැටුමක් දක්වා ද වර්ධනය විය.

එක්සත් ජාතීන්ගේ දත්තවලට අනුව, පකිස්තාන රජය ක්‍රියාත්මක කළ පිටුවහල් කිරීමේ වැඩසටහන හේතුවෙන් දශක ගණනාවක් තිස්සේ පකිස්තානයේ සරණාගතයන් ලෙස සිටි ඇෆ්ගනිස්තානුවන් ලක්ෂ 25 කට වැඩි පිරිසක් පසුගිය වසර තුන තුළ ආපසු තම රට බලා ගොස් හෝ බලහත්කාරයෙන් පිටුවහල් කරනු ලැබ ඇත.