September 14, 2026

නව ප්‍රවේශ සහ පිටත්වීමේ නීති ක්‍රියාත්මක වීමත් සමඟ චීනය වෙත සංචාරය කිරීමේදී මතුවිය හැකි විභව අවදානම් පිළිබඳව තායිවානයේ ප්‍රධාන භූමි කටයුතු සභාව සහ විශේෂඥයෝ දැඩි අවවාදයක් කළහ.

කෙසේ වෙතත්, එම අවදානම් හමුවේ තායිවානය සිය සංචාරක අනතුරු ඇඟවීමේ මට්ටම මේ මොහොතේ ඉහළ නැංවීමට අදහස් කර නොමැත.

චීනයේ නව රෙගුලාසි මගින් තොරතුරු, ව්‍යාපාරික සහ පුද්ගලික ආරක්ෂාවට බරපතළ අවදානම් එල්ල විය හැකි බව ප්‍රධාන භූමි කටයුතු සභාවේ නියෝජ්‍ය ප්‍රධානී ෂෙන් යු-චුං පැවසීය. එබැවින්, අවදානම් තත්ත්වයන් හොඳින් තක්සේරු කර චීනය වෙත සිදු කරන අනවශ්‍ය සංචාරවලින් වැළකී සිටින ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ී සිටියේය.

චීනයේ සිටින තායිවාන ව්‍යාපාරිකයන්, තායිවාන සමාගම්වල විධායක නිලධාරීන්, අර්ධ සන්නායක සහ වෙනත් උසස් තාක්ෂණ සංවර්ධන අංශවල සේවකයන්, පෙරමුණේ සේවය කරන රාජ්‍ය සේවකයන් සහ ඇතැම් ආගමික කණ්ඩායම්වල සාමාජිකයන් යන පාර්ශ්ව පහ නව නීති යටතේ වැඩි අවදානමකට මුහුණ දිය හැකි පිරිස් ලෙස ඔහු පෙන්වා දුන්නේය.

ආසියා-පැසිෆික් ප්‍රභූ හුවමාරු සංගමය විසින් තායිපේ නුවර සංවිධානය කරන ලද සංවාද සභාවක් අමතමින් ෂෙන් මෙම අනතුරු ඇඟවීම කළේය.

අමතර ආරක්ෂක පියවරක් ලෙස චීනය වෙත කරන සංචාර ලියාපදිංචි කරන ලෙස ඔහු අදාළ කණ්ඩායම්වලට උපදෙස් දුන් අතර, දැනට පවතින “තැඹිලි” වර්ණ සංචාරක අනතුරු ඇඟවීමේ මට්ටම ඉහළම මට්ටම වන “රතු” අනතුරු ඇඟවීම දක්වා ඉහළ නැංවීමට සභාව මෙතෙක් සලකා බලා නැති බවද පැවසීය.

චීනයට ඇතුළු වන හෝ එරටින් පිටවන පුද්ගලයන්ට ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණකවල ගබඩා කර ඇති දත්ත ඇතුළු ලිපිගොඩවල් සහ ඩිජිටල් තොරතුරු හෙළි කරන ලෙස බලධාරීන්ට බලය පැවරෙන නව නීති හඳුන්වා දී ඇති බව එම සංවාද සභවේදී ෂෙන් පෙන්වා දුන්නේය.

මෙම තත්ත්වය හේතුවෙන් ව්‍යාපාරික රහස් හෝ පුද්ගලික දේශපාලන අදහස් හෙළි වීමේ අවදානම ඉහළ යා හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.