November 8, 2026

පසුගිය මාස නවයක කාලය තුළ සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඇමරිකානු ඩොලර් මිලියන 417 ක ලාභයක් උපයා ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී ජේ රාජකරුණා ප්‍රකාශ කළේය.

ඔහු මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මීට පෙර වසා දැමීමට සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉවත් කිරීමට නියමිතව තිබූ මෙම පිරිපහදුව, මේ වසරේ පළමු මාස නවය තුළ මෙලෙස ඩොලර් මිලියන 417 ක ලාභයක් උපයා ඇති බව සභාපතිවරයා සඳහන් කළේය.

එමෙන්ම අදාළ කාල සීමාව තුළ රටට ඇමරිකානු ඩොලර් බිලියන 1 කට අධික විදේශ විනිමයක් ඉතිරි කර දීමට ද සපුගස්කන්ද පිරිපහදුව සමත්ව ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ වුවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පළමු මාස නවය තුළ රුපියල් බිලියන 28 ක ලාභයක් වාර්තා කර ඇති අතර, වසර අවසන් වන විට එම ලාභය රුපියල් බිලියන 28 ත් 30 ත් අතර අගයක් ගනු ඇතැයි අපේක්ෂා කරන බවද සභාපතිවරයා පැවසුවේය.

මේ අතර, ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහත වැටීමේ වාසිය නුදුරේදීම පාරිභෝගිකයන් වෙත ලබාදීමට පියවර ගන්නා බවද සංස්ථා සභාපතිවරයා කියා සිටියේය.

දීර්ඝ කාලයක් තිස්සේ ඉහළ යමින් පැවැති ලෝක තෙල් මිල පහත වැටීමේ වාර්තා ලැබුණේ දින දෙකකට පෙර බව පෙන්වා දුන් ඔහු, තත්ත්වය පිළිබඳව සංස්ථාව සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත්, ලෝක වෙළෙඳපොළේ මිල පහත වැටීමේ වාසිය සහතික වූ වහාම එය පාරිභෝගිකයාට ලබා දෙන බවත් පැවසීය.

වත්මන් දේශීය ඉන්ධන මිල ගණන් පෙබරවාරි මාසයේ පැවැති මිල ගණන් සමඟ සංසන්දනය කරමින් ඔහු කියා සිටියේ, පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 292 සිට 424 දක්වාත්, ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 281 සිට 397 දක්වාත් ඉහළ ගොස් ඇති බවයි.

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල 85% කින් පමණ ඉහළ ගොස් තිබුණද, දේශීය පෙට්‍රල් මිල ඉහළ ගොස් ඇත්තේ 45% කින් පමණක් බවත්, ඔටෝ ඩීසල් මිල ඉහළ ගොස් ඇත්තේ 43% කින් පමණක් බවත් ඔහු පෙන්වා දුන්නේය.

අප්‍රේල්, මැයි සහ ජූනි මාසවලදී රජය විසින් ඩීසල් ලීටරයකට රුපියල් 100 ක් සහ පෙට්‍රල් ලීටරයකට රුපියල් 20 ක් බැගින් ලබාදුන් සහනාධාරය මීට ප්‍රධාන හේතුව වූ බව සභාපතිවරයා පවසා සිටියේය.

මීට අමතරව පසුගිය මාසයේදී ද ඩීසල් ලීටරයකට රුපියල් 70 ක සහනාධාරයක් රජය විසින් ලබාදුන් අතර, මෙම මාසය සඳහා සහනාධාර වෙනුවෙන් රුපියල් බිලියන 41 ක් වෙන්කර ඇති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

එම සහනාධාර හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ සැබෑ මිල ඉහළ යාමට වඩා සැලකිය යුතු ලෙස අඩු මට්ටමක දේශීය ඉන්ධන මිල පවත්වාගෙන යාමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට හැකි වූ බව රාජකරුණා අවධාරණය කළේය.