November 8, 2026

කොළඹ නගරයේ හදිසි ගංවතුර තත්ත්වයන් වැළැක්වීම සඳහා ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වූ කොළඹ නගර ගංවතුර පාලන ව්‍යාපෘතිය නැවත ආරම්භ කරන ලෙස එක්සත් ජාතික පක්ෂය රජයෙන් ඉල්ලා සිටියි.

“2018 වසරේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ මෙට්‍රෝ කොළඹ නාගරික සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කරන ලද අතර, ඊට ලෝක බැංකු අරමුදල් මගින් ක්‍රියාත්මක වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 104 ක ගංවතුර පාලන ව්‍යාපෘතියක් ද ඇතුළත් වුණා. කෙසේ වෙතත්, 2022 වසරේ ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් එම ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට නොහැකි වුණා. ඉදිරියේදී ඇතිවිය හැකි ගංවතුර අවදානම අවම කරගැනීම සඳහා රජය වහාම මෙම ව්‍යාපෘතියට ප්‍රමුඛතාව ලබාදිය යුතුයි,” යනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික දිනුක් කොළඹගේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ”පසුගිය 6 වැනිදා සවස කොළඹ නගරයට ඇදහැලුණු ක්ෂණික ධාරානිපාත වර්ෂාවත් සමග ඇති වූ ගංවතුර තත්ත්වය හමුවේ, ස්වාභාවික ආපදාවන්ට මුහුණ දීමට රජයට ඇති නොහැකියාව මනාව පැහැදිලි වුණා. එල් නිනෝ බලපෑම හේතුවෙන් මෙවර මෝසම් කාලසීමාවේදී ශ්‍රී ලංකාවට සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබෙන බවට දෙස් විදෙස් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු විසින් අඛණ්ඩව අනතුරු අඟවා තිබුණා. එසේ තිබියදීත්, හදිසි අවස්ථාවකට මුහුණ දීමට තමන් තුළ ඇති අපොහොසත්කම බලධාරීන් නැවත වරක් පෙන්නුම් කර තිබෙනවා.

මෙම හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් කොළඹ වෙසෙන ජනතාව දැඩි අපහසුතාවයට පත් වූවා පමණක් නොව, බොහෝ රථවාහන පදවන්නන්ගේ ජීවිත පවා දැඩි අවදානමකට ලක්වුණා. නගරය මෙලෙස ජලයෙන් යටවීමට ප්‍රධාන වශයෙන් හේතු වූයේ කොළඹ නගර සභාව විසින් නගරය පුරා පිහිටි අපජල කානු පද්ධතිය සහ ඇළ මාර්ග නිසි ලෙස නඩත්තු කිරීමට අපොහොසත් වීමයි. නගර සභා බලප්‍රදේශයේ ජලාපවහන පද්ධතිය නඩත්තු කිරීම කොළඹ නගර සභාවේ ප්‍රධාන වගකීමක්. එබැවින් මෙම යටිතල පහසුකම් නඩත්තු කිරීමට අපොහොසත් වීම පිළිබඳව නගරාධිපතිවරයා ඇතුළු කොළඹ නගර සභාව වහාම කරුණු පැහැදිලි කළ යුතුයි.”යනුවෙනි.