April 21, 2026

තායිවාන ජනාධිපති ලායි චිං-ටේ විසින් සැලසුම් කර තිබූ එස්වාටිනි රාජ්‍ය සංචාරය අවලංගු කර තිබේ.

ඒ, ඔහුගේ ගුවන් යානයට ලබාදී තිබූ ගුවන් ගමන් බලපත්‍ර අවලංගු කරන ලෙස චීනය විසින් අප්‍රිකානු රටවල් තුනකට බලපෑම් කර ඇති බවට එරට රජය චෝදනා කිරීමෙන් පසුවය.

ලබන බදාදා ආරම්භ වීමට නියමිතව තිබූ මෙම සංචාරයේ අරමුණ වූයේ, දකුණු අප්‍රිකානු රාජ්‍යයක් වන එස්වාටිනි හි තුන්වන එම්ස්වාටි රජුගේ පදවි ප්‍රාප්තියේ 40 වැනි සංවත්සරය සැමරීමයි.

චීනය තමන්ගේම කොටසක් ලෙස සලකන තායිවානය සමඟ දැනට නිල රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වන ලොව රටවල් කිහිපය අතරින් එකක් ලෙස එස්වාටිනි රාජ්‍යය තවමත් පසුවේ.

තායිවාන ජනාධිපති කාර්යාලයේ මහලේකම් පෑන් මෙන්-ආන් ප්‍රකාශ කළේ, සීෂෙල්ස්, මුරුසිය සහ මැඩගස්කරය යන රටවල් කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව ජනාධිපති ගුවන් යානයට තම ගුවන් සීමාව හරහා යාමට ලබා දී තිබූ අවසරය ඒකපාර්ශ්විකව ඉවත් කර ගත් බවයි.

තායිපේ නුවර පැවති හදිසි මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ, “මීට සැබෑ හේතුව වූයේ ආර්ථික බලපෑම් ඇතුළුව චීන බලධාරීන් විසින් එල්ල කරන ලද දැඩි පීඩනයයි” යනුවෙනි.