August 28, 2026

තමාගේ කීර්තිනාමයට හානි කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අසත්‍ය සහ අපහාසාත්මක සටහන් සම්බන්ධයෙන් හිටපු ජාතික ක්‍රිකට් ක්‍රීඩක ටී. එම්. ඩිල්ෂාන් කොළඹ මධ්‍යම අපරාධ පරීක්ෂණ කාර්යාංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

වසර 20ක කාලයක් රට වෙනුවෙන් කළ කැපවීමෙන් තමා ගොඩනඟාගත් කීර්තිනාමයට සහ ගෞරවයට මෙම අසත්‍ය ප්‍රකාශ මඟින් විශාල හානියක් සිදුව ඇති බව ඩිල්ෂාන් පැවසීය.

ඕස්ට්‍රේලියාවේ සිට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු තමා මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ බවත්, සිය මෙම චෝදනා නිවැරදි කරගැනීම සඳහා සාධාරණ සහ කඩිනම් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා සිටි බවත් ඩිල්ෂාන් සඳහන් කළේය.

සමාජ මාධ්‍ය වේදිකාවල views හෝ ප්‍රසිද්ධිය ලබාගැනීමේ අරමුණින් අසත්‍ය තොරතුරු පතුරුවාලීමට ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ නම් භාවිත කිරීමෙන් වළකින ලෙසත්, වගකීම් සහගත ලෙස කටයුතු කරන ලෙසත් ඔහු සමාජ මාධ්‍ය පරිශීලකයින්ගෙන් ඉල්ලා සිටියේය.

මෙම අපහාසාත්මක සටහන්වලට වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිය නීතිඥයින් සූදානම් වන බවත්, තමාගේ කීර්තිනාමයට සිදුවූ හානිය වෙනුවෙන් නීතිමය සහනයක් ලබාගැනීමට කටයුතු කරන බවත් ඩිල්ෂාන් වැඩිදුරටත් පැවසීය.