August 17, 2026

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් සැක­ක­රු­වන් 25 දෙන­කුට එරෙ­හිව කොළඹ ස්ථිර ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­ර­ණය හමුවේ විභාග වන නඩුවේ විත්තියේ සාක්ෂි විම­සීම හෙට (17) ආරම්භ කරන බව අධි­ක­ර­ණය දැනුම් දුන්නේය. පැමි­ණිල්ලේ සාක්ෂි විම­සීම අව­සන් වීමෙන් පසු, පැමි­ණිල්ල විසින් ප්‍රබල නඩු­වක් ඉදි­රි­පත් කර ඇතැයි තීර­ණය කළ විනි­සුරු මඬුල්ල විත්තියේ ස්ථාව­රය ඉදි­රි­පත් කරන ලෙස නියෝග කළේය.

නව­රත්න මාර­සිංහ (සභා­පති), සුජීව නිශ්ශංක සහ රාම­නා­දන් කන්නන් යන මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රු­න්ගෙන් සම­න්විත කොළඹ ස්ථීර ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­රණ විනි­සුරු මඬුල්ල මේ දැනුම් දීම කළේය.

අප­රාධ නඩු විධි­වි­ධාන සංග්‍ර­හයේ 200 (1) වග­න්තිය යටතේ විත්ති­වා­චක ඉදි­රි­පත් කරන ලෙස නියෝග කළ අව­ස්ථා­වක විත්ති­ක­රු­වන්ට සාක්ෂි කූඩු­වට නැඟ හරස් ප්‍රශ්න­ව­ලට භාජ­නය වෙමින් සාක්ෂි දීමට, විත්ති කූඩුවේ සිට ප්‍රකා­ශ­යක් කිරී­මට, සාක්ෂි­ක­රු­වන් කැඳ­වී­මට හෝ නිශ්ශ­බ්දව සිටී­මට අව­ස්ථාව ඇත.

ඒ අනුව දැනට මේ නඩුවේ සැක­ක­රු­වන් ලෙස නම් කර සිටින 24 දෙනා­ගෙන් නීතිඥ නියෝ­ජ­න­යක් නැති චුදි­ත­යකු වන 6 වැනි විත්ති­කාර රිස්කාන් නිහ­ඬව සිටින බවත්, ඉතිරි විත්ති­ක­රු­වන් 23 දෙනා විත්ති කූඩුවේ සිට ප්‍රකාශ කරන බව දන්වා සිටි­යේය.

විත්ති­ක­රු­වන් සාක්ෂි කූඩුවේ සිට සාක්ෂි නොදෙන අව­ස්ථා­වක පැමි­ණි­ල්ලට ඔවුන්ගේ ප්‍රකාශ සම්බ­න්ධ­යෙන් හරස් ප්‍රශ්න විම­සීමේ හැකි­යා­වක් නැත. එහෙත් සාක්ෂි ආඥා පනතේ 165 වැනි වග­න්තිය යටතේ අධි­ක­ර­ණ­යට යම් යම් පැහැ­දිලි කිරීම් කර­ගැ­නීම සඳහා චුදි­ත­ය­න්ගෙන් ප්‍රශ්න විම­සීමේ හැකි­යාව තිබේ.

එමෙන්ම සම­හර විත්ති­ක­රු­වන් තමන් වෙනු­වෙන් සාක්ෂි­ක­රු­වන් ඉදි­රි­පත් කරන බව පැව­සීය.

විත්තියේ නඩුව ආරම්භ වීමෙන් පසු සාක්ෂි­ක­රු­වන් ඉදි­රි­පත් කරන චුදි­ත­යන් සිය සාක්ෂි­ක­රු­වන්ගේ ලේඛ­න­යක් අධි­ක­ර­ණ­යට දැනුම් දීමට නිය­මි­තය.

නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල්, ජනා­ධි­පති නීතිඥ හරි­ප්‍රියා ජය­සු­න්දර, අති­රේක සොලි­සි­ටර් ජන­රාල්, ජනා­ධි­පති නීතිඥ සුද­ර්ශන ද සිල්වා ඇතුළු නීතිඥ මඬු­ල්ලක් පැමි­ණිල්ල මෙහෙ­ය­වති.

පැමි­ණිල්ලේ සාක්ෂි විභා­ගය 2023 ඔක්තෝ­බර් 10 දින ආරම්භ කෙරුණු අතර, දින 250කට ආසන්න කාල­යක් විත්ති­ක­රු­වන්ට එරෙ­හිව සාක්ෂි විම­සීම සිදුවිය.

පැමි­ණිල්ලේ සාක්ෂි විම­සී­මේදී සහ­රාන්ගේ මරා­ගෙන මැරෙන කණ්ඩා­යමේ සාමා­ජි­ක­යෙක් රජයේ සාක්ෂි­ක­රු­වකු වෙමින් ප්‍රබල තොර­තුරු රැසක් අනා­ව­ර­ණය කළේය.

(සිළුමිණ)