November 4, 2026

නීතිවිරෝධී ලෙස අලෙවි කිරීමේ අරමුණින් වන සතුන්ගේ සම් කොටස් සහ ශරීර කොටස් විශාල තොගයක් ළඟ තබා ගත් සැකකරුවකු මහියංගණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ගිරාඳුරුකෝට්ටේ වන අලි කළමනාකරණ ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර, සැකකරු මහියංගණය, පදියතලාව මාර්ගයේ වෑවත්ත, අම්බලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වැටලීමේදී වනජීවී නිලධාරීන් විසින් සැකකරු සතුව තිබී අලි දත් හතරක්, අලි කශේරුකා අස්ථි කොටස් කිහිපයක්, අලි වලිග රෝම සිය ගණනක් සහ ඉත්තෑ කූරු විශාල ප්‍රමාණයක් සොයා ගෙන ඇත. මීට අමතරව, කොටියකුගේ සම් කැබලි කිහිපයක්, දිවියකුගේ හිස්කබලක්, කිඹුල් සමක්, මුව හම් දෙකක්, උගුඩුවන්ගේ හම් දෙකක්, හිසක් සහ මස් මෙන්ම මොනර පිහාටු 1,000කට වැඩි ප්‍රමාණයක් සහ වලස් තෙල් හා ඌරු තෙල් අඩංගු බෝතල් කිහිපයක්ද එහිදී සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු සහ නීතිවිරෝධී වනජීවී කොටස් තොගය එදිනම මහියංගණය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, නොවැම්බර් 5 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

සිද්ධිය පිළිබඳ ගිරාඳුරුකෝට්ටේ වන අලි කළමනාකරණ ඒකකය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.