August 8, 2025

වසර 13ක් පුරා මෙරට ජනතාව නොමග යවමින්, පටු දේශපාලන වාසි තකා පැතිරූ කටකතා වෙනුවට සත්‍යය අනාවරණය වීම තම සමාගම ලැබූ සෑබෑම ජයග්‍රහණයක් බව සුප්‍රීම් සැට් පෞද්ගලික සමාගමේ සභාපති ආර්. එම්. මනිවන්නන් නිවේදනයක් නිකුකරමින් පවසා තිබේ.

සුප්‍රීම් සැට් 1 නමින් සන්නිවේදන චන්ද්‍රිකාවක් සාර්ථකව දියත් කර ඇති බවත් එය කිසිඳු රාජ්‍ය අරමුදල්, සම්පත් හෝ අනුග්‍රහයක් කිසිදා භාවිත නොකළ පෞද්ගලික ආයෝජනයක් බවට ආයෝජන මණ්ඩලය විසින්ම තහවුරු කිරීමත් මගින් ජනතාවට සත්‍යය අවබෝධ වන බව එම නිවේදනයේ දැක්වේ.

තම සමාගම විසින් කළ මෙම ආයෝජනය පිළිබඳ 2012 වසරේ සිටම පොදු ජනතාව නොමග යවමින්, පටු ග්‍රාම්‍ය දේශපාලන වාසි වෙනුවෙන් පැතිරූ සාවද්‍ය මතවාදයන්, දශකයකට පසුව නිල ආයතන විසින් දත්ත, වාර්තා සමගින්ම තහවුරු කිරීම සැබවින්ම සතුටුදායක බව මනිවන්නන් පවසයි.

තවමත් ඇතැම් පුද්ගලයන් සිය සමාගම සම්බන්ධයෙන් පදනම් විරහිත ප්‍රකාශ දිගටම කරගෙන යන අතර, විශේෂයෙන් තාක්ෂණික ක්‍රමවේදයන්ට අනුව, අන්තර්ජාතික චන්ද්‍රිකා ගවේෂණ සුහුරු මෙවලම් හරහා මෙම චන්ද්‍රිකාවේ පිහිටීම ලබාගැනීමට හැකියාව පවතිද්දිත්, අමනෝඥ, අසත්‍ය පැවසීම හා ආයතනික ගිණුම් පිළිබඳ බොරු දත්ත සැපයීම පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ද ඔහු අවධාරණය කරයි.

එම නිවේදනයේ ඇතුළත් තාක්ෂණික පැහැදිළි කිරීම මෙසේයි;

“SUPREMESAT -1 චන්ද්‍රිකාව මේ වන විටත් 87.5° නැගෙනහිර කක්ෂයේ නිවරදිව සක්‍රීය ලෙසින් පවතියි. මූලික දියත් කිරීමේ සිටම චන්ද්‍රිකාව විද්‍යානුකූලව ස්ථානගත කර ඇත.

එසේම පුද්ගලික සමාගමක් ලෙසින් අප සතුව පවතින පුද්ගලික සමාගම් ගිණුම් හා එහි දත්ත වාර්තා අපගේ නිසි නියෝජනයක් හා පිළිගත් දත්ත වාර්තා නොමැතිව, ඉතාමත් සාවද්‍ය ලෙස, ජනතාව නොමග යන අයුරින් විකෘති කර ජනගත කිරීම ඉතාමත් පිළිකුල් සහගතය.

කිසිදු විෂයානුබද්ධ දැනුමක්, අවබෝධයක් නොමැතිව පමණක් නොව, සරල සාමාන්‍ය දැනුමක්වත් නොමැතිව මෙවන් ප්‍රකාශ සිදුකිරීම පිළිබඳ අප බලවත් අප්‍රසාදය පළ කරන්නෙමු.

අප විසින් සිදු කරන අන්තර්ජාතික තලයේ මෙහෙයුම්, ව්‍යවසාය ව්‍යාපෘති, ප්‍රමුඛ පෙළේ ගෝලීය චන්ද්‍රිකා ක්‍රියාකරුවන් හා ඔවුන්ගේ ප්‍රමිතීන්ට, කාර්ය සාධන ක්‍රියාවලීන්ට හා ජාත්‍යන්තරව පිළිගන්නා සම්මත ප්‍රමිතීන්ට අනුව විනිවිදභාවයෙන් කටයුතු කරන අප සමාගමට දැඩි අපහාසයක් බව දැඩිව සඳහන් කරන්නෙමු.

SupremeSat සමාගම බහු නෛතික රාමු යටතේ නිසි දේශීය හා අන්තර්ජාතික නීති රෙගුලාසීන්ට යටත්ව, නිසි අවසරයන් යටතේ ජාත්‍යන්තර තාක්ෂණික ප්‍රමිතීන් හා නියාමනයන්ට යටත්ව ක්‍රියාත්මක වේ.

නිසි දැනුමක් අවබෝධයක් නොමැති හා ජනතාව නොමග යවමින් සිය දේශපාලනය කිරීමට වෙර දරන පිරිස් පිළිබඳ හා ඔවුන් විසින් කරන පදනම් විරහිත හිස් ප්‍රකාශ සම්බන්ධයෙන් අප සමාගම දැඩි කනගාටුව ප්‍රකාශ කරන්නෙමු.

නිරන්තරයෙන්ම SupremeSat මේ රටේ ප්‍රගමනය වෙනුවෙන්, මෙවන් නවෝත්පාදන ක්ෂේත්‍රයන්ට දායකත්වය සපයමින් හා ශ්‍රී ලංකාවට හඳුන්වා දෙමින්, අප සතු සමාගම් කීර්තිනාමය තවදුරටත් ප්‍රවර්ධනය කරමින්, ජාත්‍යන්තර ප්‍රමිතියේ වාණිජ අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ කොටස්කරුවෙක් ලෙසින් ඉදිරියටත් කටයුතු කරන බව සහතික කරන්නෙමු.

අපගේ සමාගම, එහි ඉතිහාසය සහ අපගේ මෙහෙයුම්වල විෂය පථය පිළිබඳ නිවැරදි තොරතුරු සඳහා, www.supremesat.com වෙත පිවිසෙන ලෙස සියලු උනන්දුවක් දක්වන පාර්ශ්වයන් දිරිමත් කරමු.”