September 11, 2026

හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු වී සිරදඬුවම් විඳිමින් සිටි ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවට, 2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ලබාදුන් ජනාධිපති සමාව අත්තනෝමතික සහ නීති විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර ඇත.

විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා, ආචාර්ය සෝභිත රාජකරුණා සහ සම්පත් බී. අබේකෝන් යන තිදෙනාගෙන් සමන්විත පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම ඒකමතික තීන්දුව ලබාදෙමින්, අදාළ ජනාධිපති සමාව නීතිය හමුවේ බලරහිත බව ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයාට සමාව දීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත බලතල තිබුණද, එම බලතල ජනතාව වෙනුවෙන් පවතින මහජන වගකීමක් වන බැවින් ඒවා අධිකරණ සමාලෝචනයට යටත් වන බව ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කළේය.

නීති කටයුතු පිළිබඳ අතිරේක ලේකම්වරයා විසින් සකස් කරන ලද සටහනකට අන්ධ ලෙස අනුමැතිය ලබාදෙමින් මෛත්‍රීපාල සිරිසේන කටයුතු කර ඇති අතර, සමාවදීමට තරම් හේතුවක් එහි දක්වා නොතිබූ බව විනිසුරු ජනක් ද සිල්වා පෙන්වා දුන්නේය.

මෙම ජනාධිපති සමාවට එරෙහිව පෙත්සම් ගොනුකර තිබුණේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාකියසෝති සරවනමුත්තු සහ අතුරුදහන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ විසිනි.

ජනාධිපති සමාවක් මගින් අධිකරණයක් ලබාදුන් වරදකරු කිරීම හෝ සිරදඬුවම අහෝසි නොවන අතර, සිදු කරන්නේ දඬුවම ක්‍රියාත්මක කිරීම වැළැක්වීම පමණක් බව ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දුන්නේය.

එම නිසා, ජනාධිපති සමාව අවලංගු වීමත් සමඟ උන්වහන්සේට ලැබී තිබූ නිදහස අහෝසි වන අතර, අධිකරණය දුන් මූලික සිරදඬුවම් නීතිය හමුවේ තවදුරටත් වලංගුව පවතී.

කෙසේවෙතත්, උන්වහන්සේව වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඍජුව නියෝග කර නොමැති අතර, ඉදිරි පියවර සහ සිරදඬුවම ක්‍රියාත්මක කිරීම පිළිබඳ බන්ධනාගාර බලධාරීන් විසින් නීතිමය පියවර ගත යුතුව ඇත.

තවද, නීත්‍යනුකූල ක්‍රමවේදයට අනුව ඉදිරියේදී වත්මන් ජනාධිපතිවරයාට නැවත උන්වහන්සේට සමාව දීමේ හැකියාව පවතින බව ද ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් සඳහන් කළේය.