May 11, 2026

පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් සෑම වසරකම සිසුන්ට, ගුරුවරුන්ට සහ කාර්ය මණ්ඩලයට හිරිහැර පුහුණුවක් අනිවාර්යයයෙන් ලබා දියයුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.

ලිංගික හා ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් හිරිහැරවලට එරෙහිව ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට විශ්වවිද්‍යාලය වැඩි යමක් කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කර තිබේ.

විසින් දන්ත වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු ලිංගික හිරිහැර සහ චිත්තවේගීය අපයෝජන සිදු කළ බවට අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සාමාජිකාවක චෝදනා කරමින් මෙම නඩුව පවරා තිබිණි.

විශ්වවිද්‍යාල පරීක්ෂණයකින් මහාචාර්යවරයා වරදකරු බව සොයා ගන්නා ලදී.

ඔහුගේ ජංගම දුරකථනය භාවිත කරමින් ඇයව සයිබර් අවකාශයේ ලුහුබැඳීම, නිතර නිතර ඇයව වැළඳ ගැනීම සහ කැමැත්තෙන් තොරව ඇයව ස්පර්ශ කිරීම,බරපතළ චිත්තවේගීය හා මානසික පීඩාවක් ඇති කිරීම, විශ්වවිද්‍යාල නීති කඩ කිරීම සහ විශ්වවිද්‍යාලයේ කීර්ති නාමයට හානි කිරීම එම වැරදි අතර වේ.

පැමිණිල්ල ප්‍රමාද වූ බැවින් විශ්වවිද්‍යාල කවුන්සිලයඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීම මුලදී ප්‍රතික්ෂේප කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය ද පැවසුවේ පෙත්සම නීතිමය කාල සීමාවෙන් පසුව ගොනුකර ඇති බැවින් ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් නිල වශයෙන් තීන්දුවක් ලබා දිය නොහැකි බවයි.

කෙසේවෙතත්, මහාචාර්යවරයා කිසි විටෙකත් නීත්‍යනුකූලව අභියෝග නොකළ බැවින් විමර්ශනයේ සොයාගැනීම් තවමත් වලංගු බව අධිකරණය පැවසීය.

මේ නිසා, අධිකරණය ඔහුට කිසිදු විශ්වවිද්‍යාලයක හෝ අධ්‍යාපන ආයතනයක කිසිදු අධ්‍යයන තනතුරක් දැරීමට ස්ථිරවම තහනම් කළේය.

ඒ අනුව මහාචාර්යවරයාට නැවත කිසිදු අධ්‍යයන ආයතනයක, වැටුප් නොලබන හෝ ගෞරවනීය තනතුරුවල පවා සේවය කළ නොහැක.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම එය යටතේ ඇති සියලුම විශ්වවිද්‍යාලවලට ඔහුව පත් නොකරන ලෙස දැන්විය යුතු බව ද අධිකරණය සඳහන් කළේය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලය හිරිහැර සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ සහ පුහුණු වැඩසටහන් වාර්ෂිකව පැවැත්විය යුතු බවට ද අධිකරණය නියෝග කර තිබේ.

නඩුව ගොනු කළ කාන්තාව දන්ත ශල්‍ය වෛද්‍යවරියක සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක ලෙස සේවය කරන්නීය.

සිදුවීම් සිදුවන අවස්ථාවේ, දර්ශනපති උපාධිය සඳහා ඉගෙන ගන්නා අතරතුර ඇය මහාචාර්යවරයාගේ අධීක්ෂණය යටතේ සේවය කරන කනිෂ්ඨ කථිකාචාර්යවරියක් වූවාය.