March 22, 2024

ලොව විශාලතම ඉන්දියානු අධ්‍යාපන ප්‍රදර්ශනවලින් එකක් වන ‘Study in India Expo’ හි අඛණ්ඩ 3 වැනි දිගහැරුම 35කට අධික කීර්තිමත් රාජ්‍ය ආයතන, ඉහළ ශ්‍රේණිගත පෞද්ගලික විශ්ව විද්‍යාල සහ ජනප්‍රිය අන්තර්ජාතික පාසල් සමග එක්ව 2024 මාර්තු මස කොළඹ සහ මහනුවර මූලික කරගනිමින් පවත්වන ලදී.

ශ්‍රී ලාංකික සිසුන්ට ඉන්දියාවේ උසස් අධ්‍යාපනය හැදෑරීම සදහා වූ අධ්‍යාපන අවස්ථා රාශියක් තෝරාගැනීමට මෙහිදී අවස්ථාව උදාකර දී තිබිණි.

සාර්ථක වෘත්තියක් සඳහා ලොව පිළිගත් උපාධියක් ලබාගැනීම සඳහා දේශීය සිසුන්ගේ සිහින සැබෑකිරීම වෙනුවන් හොඳම ඉන්දියානු ආයතන එකම වේදිකාවකට ගෙනඒම තුළින් ශ්‍රී ලාංකික සිසුන්ට සහ දෙමාපියන්ට මේ පිළිබඳව දැනුවත්වභාවයක් ලබාදීම මෙම ප්‍රදර්ශනයේ මුලික අරමුණයි.

2024 මාර්තු 08 වැනිදා (සිකුරාදා) මහනුවරදී ගෝල්ඩන් ක්‍රවුන් හෝටලයේදී සහ කොළඹදී මාර්තු 09 සහ 10 (සෙනසුරාදා සහ ඉරිදා) කින්ග්ස්බරි හෝටල් පරිශ්‍රයේදී ප්‍රදර්ශනය පැවැත්විණි.

කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හා එක්ව Affairs Exhibitions & Media ආයතනය විසින් මෙම ප්‍රදර්ශනය සංවිධානය කරන ලදී.

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැති ආචාර්ය සුරේන් රාඝවන්, කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා සහ Affairs Exhibitions & Media ආයතනයේ නිර්මාතෘ සහ එහි විධායක අධ්‍යක්ෂක සංජීව් බෝලියා එක්ව ප්‍රදර්ශනය ආමාරම්භ කරන ලදී.

IIM බැංගලෝර්, IIM Udaipur, සිල්චාර්හී ජාතික තාක්ෂණ ආයතනය, ගුජරාට් ජාතික නීති විශ්ව විද්‍යාලය, ගුජරාට් සමුද්‍රීය විශ්ව විද්‍යාලය, ජාතික කෘෂිකර්ම ව්‍යාප්ති කළමනාකරණ ආයතනය වැනි ඉන්දියාවේ කීර්තිමත් රාජ්‍ය උසස් අධ්‍යාපන ආයතන කිහිපයක් ප්‍රදර්ශනයට සහභාගී වී තිබිණි.

චෙන්නායි, බැන්ගලෝර්, කොයිම්බතූර්, මනිපාල්, පූනේ, දිල්ලි NCR, බුබනේස්වර් සහ පන්ජාබ් හි පෞද්ගලික විශ්ව විද්‍යාල රැසක්ද මෙම ප්‍රදර්ශනයට මෙවර සම්බන්ධවීම විශේෂත්වයකි.

මෙහිදී ඉන්දියාවේ ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම ඇති විශ්වවිද්‍යාලවල ප්‍රධානීන්, අන්තර්ජාතික ප්‍රවේශ අධ්‍යක්ෂකවරුන් නියෝජිතයන් සමග හමුවීමට සහ ඔවුන් සමග ඍජුව සම්බන්ධවීමට ශ්‍රී ලාංකික සිසුන්ට සහ දෙමව්පියන්ට අවස්ථාව උදාවිය.

එමෙන්ම ප්‍රදර්ශනයට සහභාගි වූ සියලුම දෙනාටම ඉන්දියාවේ උසස් අධ්‍යාපන අවස්ථාවලින් දැනුවත්වීමට, පාඨමාලා තෝරාගැනීමට, ඇතුළත්වීමේ සහ සුදුසුකම් නිර්ණායක පිළිබඳව දැනුවත්වීමට, පිරිවැය සහ ශිෂ්‍යත්ව පිළිබඳව තොරතුරුවලින් දැනුවත්වීමට ද අවස්ථාව උදාවිය.

ඉංජිනේරු, තොරතුරු තාක්ෂණය, විද්‍යාව, කළමනාකරණය, අනුබද්ධ විද්‍යාව,කෘෂිකර්මය,සමුදීය අධ්‍යාපනය, නීතිය, ගෘහ නිර්මාණ ශිල්පය, ලිබරල් අධ්‍යාපනය යනාදී උපාධි අපේක්ෂක සහ පශ්චාත් උපාධි වැඩසටහන්වලට සහභාගිවීමට කැමැත්තක් දක්වන සිසුහු විශාල පිරිසක් ප්‍රදර්ශනය නැරඹීමට සහ දැනුවත්වීමට පැමිණ සිටියහ.