September 1, 2026

හෝර්ටන් තැන්න සහ ඒ අවට ඇති සංවේදී ජෛව කලාප ආරක්ෂා කිරීම සඳහා වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු එක්ව ඒකාබද්ධ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.

විශේෂයෙන් වන සීමා මායිම් අනවසරයෙන් අත්පත් කරගැනීම සහ අනවසර ඇතුළුවීම් වැළැක්වීම පිණිස මායිම් මුර සංචාර සහ නිරීක්ෂණ ජාලය ශක්තිමත් කිරීමට උපදෙස් ලබා දෙන ලදී.

හෝර්ටන් තැන්න කලාපයේ පවතින දුරකථන සංඥා දුර්වලතාවලට ස්ථිර විසඳුමක් ලෙස චන්ද්‍රිකා තාක්ෂණය (Starlink) සහ VPN තාක්ෂණය ඔස්සේ ක්‍රියාත්මක වන නවීන ඩිජිටල් ටිකට්පත් පද්ධතියක් ස්ථාපිත කිරීමටත්, ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) හරහා ඩිජිටල් යටිතල පහසුකම් කඩිනමින් යාවත්කාලීන කිරීමටත් එකඟතාවකට එළඹ තිබේ.

උද්‍යානයට ඇතුළු වන සංචාරකයින් සංඛ්‍යාව දිනකට නිශ්චිත ප්‍රමාණයකට සීමා කිරීම (Cap on visitors), අන්තර්ජාලය ඔස්සේ පූර්ව වේලාවන් වෙන්කරවා ගැනීමේ ක්‍රමවේදයක් (Online Booking) හඳුන්වා දීම සහ මිල ප්‍රතිපත්තියක් (Pricing Strategy) මඟින් පරිසරයට වන පීඩනය අවම කර, ඉහළ ආදායමක් ගෙනෙන ගුණාත්මක සංචාරක ව්‍යාපාරයක් (High-End Eco-Tourism) ප්‍රවර්ධනය කිරීමට ද තීරණය කර ඇත.

පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩිගේ සභාපතිත්වයෙන් හෝටන් තැන්න පරිශ්‍රයේදී පැවැති විශේෂ නිරීක්ෂණ චාරිකාවකදී සහ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවකදී මෙම තීරණවලට එළඹ තිබේ.