September 1, 2023

ඉන්දියාවේ දේශීය අන්තර්ජාතික ක්‍රිකට් තරඟ විකාශනය කිරීමේ ජනමාධ්‍ය අයිතිය ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් (BCCI) අගෝස්තු 31 බ්‍රහස්පතින්දා දිනාගැනීමට Viacom18 Media ආයතනය සමත්ව ඇත.

ඒ අනුව ඉන්දීය ක්‍රිකට් තරග දීර්ඝ කාලයක් තිස්සේ විකාශය කළ ‘ස්ටාර් ස්පෝර්ට්ස්’හි(Star Sports Network) ක්‍රිකට් යුගය නිමාවට පත්වීමට නියමිතය.

කෙසේවෙතත් කළින් ගිවිසුම්ගතවී ඇති ආකාරයට Star Sports Network විසින් ලබන මාසයේ ඕස්ට්‍රේලියානු තරඟාවලිය සහ ICC එක්දින ලෝක කුසලාන තරගාවලිය 2023 ඔක්තෝබර්-නොවැම්බර් මාසවල විකාශය කරනු ඇත.

ඉන් අනතුරුව සියලුම තරඟ මාර්ගගතව, සජීවීව ප්‍රවාහය කරන අතර Sports18 රූපවාහිනිය ඔස්සේ විකාශය කිරීමට නියමිතය.

වාර්තා අනාවරණය කරන ආකාරයට ඉදිරි වසර පහ සඳහා ඉන්දියාවේ අන්තර්ජාතික ක්‍රිකට් තරඟ විකාශනය කිරීම සඳහා නව හිමිකරුවන් විසින් එක් තරගයක් වෙනුවෙන් (ඩිජිටල් සහ රූපවාහිනිය සඳහා) ඉන්දීය රුපියල් කෝටි 67.8ක් ගෙවනු ඇත.

ඉන්දීය පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2028 මාර්තු මාසය දක්වා අන්තර්ජාතික තරඟ 88 ක් තම මව්බිමේදී ක්‍රීඩා කිරීමට නියමිත අතර Viacom18 එම වසර පහක ගනුදෙනුවක් සඳහා BCCI වෙත සමස්ත ඉන්දීය රුපියල් කෝටි 5966.4 ක් ගෙවන බව පැවැසේ.

Star Sports Network විසින් 2018 වසරේ අන්තර්ජාතික තරඟ 103ක් සඳහා BCCI මාධ්‍ය අයිතිය දිනාගැනීම වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 6130.10ක් ගෙවා තිබේ.