February 8, 2026

ඉන්දියාවේ පැවති 12 වැනි තරුණ සූපවේදී ඔලිම්පියාඩ් 2026 තරඟාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ශිෂ්‍ය සූපවේදී රුමිර පියසිරි ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය.

ඔහු අද (8) උදෑසන බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළට පැමිණියේය.

ශිෂ්‍ය සූපවේදීන් සඳහා ලොව විශාලතම ගෝලීය සූපශාස්ත්‍ර තරඟය ලෙස පිළිගත් මෙම උත්සවය ඉන්දියාවේ අන්තර්ජාතික හෝටල් කළමනාකරණ ආයතනය සහ ලන්ඩනයේ අන්තර්ජාතික ආගන්තුක සත්කාර කවුන්සිලය විසින් සංවිධාන කරන ලදී.

මෙම තරඟය පෙබරවාරි 1 සිට 6 දක්වා ඉන්දියාවේ කොල්කටාහිදී රටවල් 50ක තරඟකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

තරඟය අතරතුර උපදේශක සහ මාර්ගෝපදේශක ලෙස රුමිර පියසිරි සමඟ ඉන්දියාවට ගියේ කථිකාචාර්ය එමේෂිකා ද සිල්වායි.

ඔවුන් අද පෙ.ව. 6.50ට නවදිල්ලි සිට ඉන්දියානු ගුවන් සේවයේ AI-277 ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණ තිබිණි.

SLIIT ආයතනයට අනුබද්ධිත කොළඹ ආගන්තුක සත්කාර කළමනාකරණ ඇකඩමියේ විදුහල්පතිවරයා, පරිපාලකයන් සහ කථිකාචාර්යවරුන් පිරිසක් සහ රුමිර පියසිරිගේ මාපියන් පදක්කම්ලාභී සිසුවා පිළිගැනීම සඳහා ගුවන් තොටුපළට පැමිණ සිටියහ.