May 24, 2026

පසුගිය දින නවයක් පුරා අඛණ්ඩව ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් තිබූ ශ්‍රී ලංකා රුපියල, පසුගිය සිකුරාදා (මැයි 22) කැපීපෙනෙන ලෙස ශක්තිමත් වෙමින් ආසියාවේ හොඳම කාර්යසාධනයක් පෙන්නුම් කළ මුදල් ඒකකය බවට පත්ව ඇති බව ගෝලීය මූල්‍ය තත්වයන් වාර්තා කරන Bloomberg පුවත් සේවය ප්‍රකාශ කරයි.

ඒ අනුව රුපියලේ අගය සියයට 2.7 කින් පමණ ශක්තිමත් වී ඇති අතර, මෙය 2023 මාර්තු මාසයෙන් පසු රුපියල වාර්තා කළ විශාලතම එක්දින වර්ධනය වේ.

අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් (ADB) ඉදිරියේදී ලැබීමට නියමිත මූල්‍ය ප්‍රතිපාදන සැලකිල්ලට ගෙන, වෙළෙඳපොළ පාර්ශ්වකරුවන් සතුව තිබූ ඩොලර් අලෙවි කිරීමට තීරණය කිරීම රුපියල මෙලෙස ශක්තිමත් වීමට හේතු වූ බව මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍යවරයා කොළඹදී ජනමාධ්‍ය වෙත පැවසීය.

ඉරාන යුද වාතාවරණය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඇති වූ තෙල් මිල අර්බුදය හමුවේ සමස්ත ආසියානු කලාපයේම මුදල් ඒකක දැඩි පීඩනයකට ලක්ව තිබිණි.

ඒ හේතුවෙන් මේ වසරේ ආසියාවේ දුර්වලම කාර්යසාධනයක් සහිත මුදල් ඒකකය බවට පත්ව තිබුණේ ද ශ්‍රී ලංකා රුපියලයි.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා රජය දැනටමත් පෞද්ගලික වාහන ආනයනය මත රේගු බදු අධිභාරයක් පනවා ඇති අතර, මුදල් වෙළෙඳපොළේ පවතින අස්ථාවරත්වය පාලනය කිරීමට ශ්‍රී ලංකා මහබැංකුව විදේශ විනිමය වෙළෙඳපොළට මැදිහත් වන බව ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම මූල්‍ය ස්ථාවරත්වය පවත්වාගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව ද රජය අවධාරණය කරයි.

ලබන මැයි 26 වැනිදා මහ බැංකුව සිය නවතම පොලී අනුපාතික ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ, මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කිරීම සහ ඉදිරියේදී ලැබීමට නියමිත විදේශ ආධාර හේතුවෙන් ඉදිරි කාලයේදී රුපියලේ අගය තවදුරටත් ස්ථාවර වී අතිප්‍රමාණය වනු ඇති බවයි.