October 20, 2025

මාලේ නගරයෙන් පුද්ගලයන් හත් දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සමඟ පිටත් වූ ගොඩබෑමේ යාත්‍රාවක් පසුගිය බ්‍රහස්පතින්දා පෙරළීමෙන් මියගිය සංඛ්‍යාව තුන දක්වා ඉහළ ගොස් ඇත.

ඒ, මෙම සිද්ධියෙන් අතුරුදහන් වූ තුන්වැනි නාවිකයාගේ මළ සිරුර කේ. ඇටෝල් ජලයේ පාවෙමින් තිබියදී සොයා ගැනීමත් සමගය.

අඩි 100ක ගොඩබෑමේ යාත්‍රාවක් වන අල්මාක් ෆියා, බ්‍රහස්පතින්දා අලුයම කේ. තුල්හාගිරි සිට නාවික සැතපුම් 1.3ක් දුරින් පෙරළෙන විට මාලේ නගරයේ සිට කේ. එරියදූ නිවාඩු නිකේතන දූපතට පුද්ගලයන් හත් දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සමඟ යාත්‍රා කරමින් සිටියේය.

කාර්ය මණ්ඩල සාමාජිකයන් සිව් දෙනෙකු වෙරළාරක්ෂක බලකාය විසින් බේරා ගන්නා ලද අතර, අතුරුදහන් වූ නැවියන් තිදෙනාම මිය ගොස් ඇති බව දැන් තහවුරු කර ඇත.

ඉරිදා උදෑසන, මාලදිවයිනේ ජාතික ආරක්ෂක බලකාය කෙටි යාවත්කාලීන කිරීමක් නිකුත් කරමින්, ගොඩබෑමේ යාත්‍රාව පෙරළීමෙන් අතුරුදහන් වූ තුන්වැනි පුද්ගලයා සෙනසුරාදා රාත්‍රියේ මිය ගොස් ඇති බව නිවේදනය කළේය.

මාලදිවයිනේ ජාතික ආරක්ෂක බලකායට අනුව, ශ්‍රී ලාංකිකයකු ලෙස පමණක් හඳුනාගෙන ඇති එම නාවිකයාගේ මළ සිරුර OBLU XPERIENCE Ailafushi සහ Villa Nautica අතර ජලයේ පාවෙමින් තිබියදී සොයා ගෙන තිබේ.

වෙරළාරක්ෂක බලකායේ කිමිදුම්කරුවන් විසින් අතුරුදහන් වූ අනෙකුත් නාවිකයන් දෙදෙනාගේ මළ සිරුරු බ්‍රහස්පතින්දා සොයා ගන්නා ලදී.

38 හැවිරිදි අහමඩ් ෂිෆාන්ගේ මළ සිරුර උදෑසන සොයා ගන්නා ලද අතර, දහවල් කාලයේදී ඉන්දියානු නාවිකයකුගේ මළ සිරුර සොයා ගන්නා ලදී.

මෙම ඛේදජනක සමුද්‍ර අනතුර සිදුවී ඇත්තේ මාලදිවයිනේ කාලගුණ විද්‍යා සේවය විසින් රට පුරා ධාරානිපාත වර්ෂාව, ගිගුරුම් සහිත වැසි, තද සුළං සහ රළු මුහුද පිළිබඳ කාලගුණ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබියදීය.

ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු ඛේදවාචකය පිළිබඳ දැඩි ශෝකය පළ කරමින් ප්‍රකාශයක් නිකුත් කරමින්, ගලවා ගැනීමේ කටයුතු ඉහළම ප්‍රමුඛතාවක් ලෙස සළකන බවට සහතික විය.

අයහපත් කාලගුණික තත්ත්වයන් මධ්‍යයේ බලධාරීන් විසින් නිකුත් කරන ලද උපදෙස් සහ උපදේශන අනුගමනය කරන ලෙසද ඔහු නාවිකයන්ගෙන් ඉල්ලා සිටියේය.