
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තා නාවික පුද්ගලයන් හට මුහුදු රාජකාරීන් සඳහා අවස්ථාව විවර කරමින්, කාන්තා නිලධාරීන් දෙදෙනෙක් (02) සහ කාන්තා නාවිකයන් පස් දෙනෙකුගෙන් (05) සමන්විත පළමු කාන්තා නාවික පුද්ගල කණ්ඩායම මුහුදු රාජකාරීන් සඳහා ඊයේ දින උදෑසන (2023 මැයි 11) ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව වෙත අනුයුක්ත විය.
නාවික හමුදාව තුළ මෙතෙක් පිරිමි නාවික පුද්ගලයන් හට පමණක් සීමාවී තිබූ නෞකා සහ යාත්‍රා වන්ගේ රාජකාරීන් සඳහා කාන්තා නාවික පුද්ගලයන් හටද අවස්ථාව විවර කිරීමට නාවික හමුදාව විසින් ගත් තීරණයකට අනුව, වෙරළබඩ මුර යාත්‍රා හැසිරවීමේ මූලික පාඨමාලාව හැදැරීම සඳහා කාන්තා නිලධාරීන් සහ නාවිකයන් වෙත පසුගිය 2022 වර්ෂයේ ඔක්තෝබර් මාසයේදී අවස්ථාව ලබාදීම සිදුකෙරිණි.
එහිදී, මූලික ජලතරණය, නාවික ශිල්පය, ගිනි නිවීම, පණිවිඩ හුවමාරුව, සංග්‍රාමික ප්‍රථමාධාර පිළිබඳ මෙන්ම නෞකා හා යාත්‍රාවන්ගේ විදුලි හා විද්‍යුත් පද්ධතිය පිළිබඳවද න්‍යායික හා ප්‍රායෝගික පුහුණුවක් ලබාදීම ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සහ නාවික තඨාකාංගණයේදී සිදු කෙරිණි.
කලාපීය නාවික හමුදාවන් මෙන්ම ලොව අනෙකුත් බොහෝ නාවික හමුදාවන්ද නෞකාවන්හි මෙහෙයුම් කටයුතු සඳහා කාන්තා නාවික පුද්ගලයන් ඵලදායී ලෙස යෙදවීම සිදුකරනු ලබන අතර, ඉදිරියේදී කාන්තා නිලධාරීන් සහ කාන්තා නාවිකයින් මෙලෙස මුහුදු රාජකාරීන් සඳහා ඵලදායී ලෙස යෙදවීමට ශ්‍රී ලංකා නාවික හමුදාව අපේක්ෂා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart