July 15, 2026

ගෝලීය විවාහ මංගල්‍ය සංචාරක ක්ෂේත්‍රය (Destination Weddings) තුළ සුවිශේෂී පෙරළියක් සිදුකරමින්, ඉන්දීය ජාතිකයින්ගේ මංගල උත්සව සඳහා ලොව වේගයෙන්ම ප්‍රචලිත වන ප්‍රමුඛතම රටක් බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ. ප්‍රසිද්ධ ඉන්දීය විවාහ සැලසුම්කරණ ආයතනයක් වන ‘WedMeGood’ විසින් නිකුත් කරන ලද ‘Destination Wedding Report 2026’ නවතම වාර්තාව මඟින් මේ බව අනාවරණය කර ඇත.

මෙම වාර්තාවට අනුව, වර්තමාන ඉන්දීය තරුණ පරපුර දහස් ගණනක් සහභාගී වන සාම්ප්‍රදායික මහාපරිමාණ විවාහ උත්සව වෙනුවට, සමීපතමයන් කිහිපදෙනකු පමණක් සම්බන්ධ කරගනිමින් පවත්වන ‘අත්දැකීම් බහුල’ සුවිශේෂී මංගල්‍යයන් සඳහා වැඩි නැඹුරුවක් දක්වති. මේ වන විට සමස්ත ඉන්දීය විවාහ මංගල්‍යයන්ගෙන් 25%ක්ම විවිධ සංචාරක ආකර්ෂණීය ස්ථාන කේන්ද්‍ර කරගනිමින් (Destination Weddings ලෙස) සිදුවන අතර, එය ඉදිරි 2028 වසර වන විට 30%ත් 32%ත් දක්වා තවදුරටත් වර්ධනය වනු ඇතැයි ගණන් බලා ඇත.

මෙම සන්දර්භය තුළ ශ්‍රී ලංකාව විදේශීය මංගල ගමනාන්තයක් ලෙස තෝරාගැනීමේ ප්‍රවණතාව වාර්ෂිකව 20% සිට 25% වැනි ඉහළ අගයකින් වර්ධනය වෙමින් පවතී.

ඉන්දීය වැසියන් තම ජීවිතයේ වැදගත්ම දිනය සැමරීම සඳහා ශ්‍රී ලංකාව තෝරා ගැනීමට ප්‍රධාන සාධක තුනක් බලපා තිබේ:

– ඉන්දීය වැසියන්ගෙන් 44%ක්ම මංගල උත්සව සඳහා පැය 2ත් 4ත් අතර කෙටි කාලයකින් ළඟාවිය හැකි විදේශීය ස්ථාන කෙරෙහි කැමැත්තක් දක්වති. ශ්‍රී ලංකාව භූගෝලීය වශයෙන් පිහිටා ඇත්තේ මෙම පරිශ්‍රය තුළය.

– ශ්‍රී ලංකාව විසින් ඉන්දීය සංචාරකයන් උදෙසා ලබා දී ඇති වීසා රහිත ප්‍රවේශය මෙම තීරණයට දැඩි රුකුලක් වී ඇත.

– සුඛෝපභෝගී හෝටල් සේවා, රන්වන් වෙරළ තීරයන්, වනජීවී සවාරි මෙන්ම සංස්කෘතික හා ආධ්‍යාත්මික සුවතා අත්දැකීම් එකම කුඩා රටක් තුළදී විඳගැනීමට ඇති හැකියාව ඉන්දීය මනාල මනාලියන්ගේ ආකර්ෂණය දිනාගැනීමට සමත්ව තිබේ.

මෙම නව ප්‍රවණතාවය මෙරට සංචාරක ක්ෂේත්‍රයට මෙන්ම ඉහළ ආදායම් ලබන සේවා අංශයන්ට දැවැන්ත ආර්ථික ශක්තියක් වනු ඇතැයි ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ අපේක්ෂා කරති.