December 19, 2025

නව ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව පත්කිරීමේ දී පෞද්ගලික අනුග්‍රහයන් බලපා ඇති බවට එල්ල වන විවේචන ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ප්‍රතික්ෂේප කර තිබේ.

හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පස් දෙනෙකුගෙන් යුත් කමිටුවේ සභාපති ලෙස නැවත පත්කර ඇති බව අමාත්‍යාංශය පසුගියදා තහවුරු කළේය.

අනෙකුත් සාමාජිකයන් අතරට ඉන්දික ද සේරම්, තරංග පරණවිතාන, විනෝදෙන් ජෝන් සහ රසංජලි ද අල්විස් ඇතුළත් වේ.

2021 සිට 2023 දක්වා කමිටුවේ සභාපතිත්වය දැරූ වික්‍රමසිංහ, මෑතකදී නිල කාලය අවසන් වූ උපුල් තරංග වෙනුවට පත් කර සිටී.

පෙබරවාරි මාසයේ ආරම්භ වීමට නියමිත ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම-සත්කාරකත්වය දරන ICC පිරිමි T20 ලෝක කුසලානයත් සමඟ නව මණ්ඩලයට ක්ෂණිකව සිය කාර්යයයන් ආරම්භ කිරීමට සිදුවේ.

එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සිය ෆේස්බුක් පිටුවේ මෙලෙස සටහන් කරමින් පැහැදිලි කිරීමක් සිදුකර ඇත.

“ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට පළමුවතාවට ව්‍යවස්ථාපිත නීතියක් ලෙස කාන්තාවක් තේරී පත්වන්නේ අප නිකුත්කළ ගැසට්ටුවට අනුවය. කාන්තාවන් ක්‍රීඩා කරන ක්‍රීඩාවකදී එහි තේරීම් කමිටුවට කාන්තාවක් සිටිය යුතු බවට අප නිකුත්කළ ගැසට්ටුවේ වගන්තියක් ඇත. මෙම කමිටුව තෝරා ගැනීමේදී අදාළ සම්මේලනය තම සාමාජික සංගම්වලින් නාමයෝජනා කැඳවන අතර එම යෝජනා අතරින් සම්මේලනයේ විධායක කමිටුව මගින් තෝරාගත් දස දෙනෙකුගේ නම් අමාත්‍යාංශයට එවනු ලැබේ. මෙම තේරීම් කමිටුවට නාම යෝජනා ඉදිරිපත් නොකළ අයකුට හෝ ඇමතිවරයා කැමති අයකු මෙයට පත්කළ නොහැක. (අරයා දැම්මනම් හොඳයි, මෙයා දැම්මානම් හොඳයි කියා යෝජනා කරන අයට දැනගැනීමට) එම දස දෙනා අතුරින් සුදුසු යයි හැඟෙන පස් දෙනෙකු ජාතික තේරීම් කමිටුව හරහා ඇමතිවරයා විසින් නම්කරනු ලැබේ. ඒ අනුව වසර දෙකක් සඳහා අදාළ තේරීම් කමිටුව පත්කරනු ලැබේ. කොතරම් හොඳ දක්ෂ අය සිටියද ඔවුන් තම ක්‍රීඩා සංගම් හරහා අයදුම්පත් ඉදිරිපත් නොකරනතාක් ඔවුන්ව තෝරාගැනීමට හැකියාවක් නැතිබව පමණක් නැවත තහවුරු කරමි.”