September 19, 2026

සමාජ මාධ්‍ය ඔස්සේ FBC, FBS, RBS, HbA1C, Lipid Profile, LFT, RFT, Dengue NS1, UFR, CRP, CT, MRI, Ultrasound, Mammogram සහ DEXA ඇතුළු වෛද්‍ය පරීක්ෂණ රැසක මිල ගණන් සඳහන් කරමින් සංසරණය වන දැන්වීම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් නිකුත් කරන ලද නිල දැන්වීමක් නොවන බව එම අධිකාරිය මහජනතාව වෙත දැනුම් දෙයි.

එම දැන්වීමේ සඳහන් ඇතැම් මිල ගණන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ගැසට් පත්‍ර මඟින් නියම කරන ලද උපරිම මිල ගණන් ලෙස වැරදි අවබෝධයක් ඇතිකර නොගන්නා ලෙසද එම අධිකාරිය ඉල්ලා සිටී.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ගැසට් නිවේදන මගින් නිල වශයෙන් නියම කර ඇති වෛද්‍ය පරීක්ෂණ උපරිම ගාස්තු පහත පරිදි වේ:

– FBC (සම්පූර්ණ රුධිර ගණන පරීක්ෂණය): රු. 400/-
– Dengue NS1 Antigen (ඩෙංගු ප්‍රතිදේහජනක පරීක්ෂණය): රු. 1,200/-

(මෙම මිල ගණන් 2020.07.29 දිනැති අංක 2186/17 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකළ අංක 67 නියෝගය යටතේ බලපැවැත්වේ)

– COVID-19 PCR පරීක්ෂණය: රු. 6,500/-
– COVID-19 Rapid Antigen Test (RAT): රු. 2,000/-

(මෙම මිල ගණන් 2021.08.12 දිනැති අංක 2240/30 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකළ අංක 75 නියෝගය යටතේ බලපැවැත්වේ)

එබැවින් සමාජ මාධ්‍යවල සංසරණය වන දැන්වීමේ දැක්වෙන FBS, RBS, HbA1C, Lipid Profile, LFT, RFT, UFR, CRP, CT Scan, MRI Scan, Ultrasound Scan, Mammogram සහ DEXA Scan සඳහා වන මිල ගණන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් නියම කළ උපරිම ගාස්තු නොවන බව අදාළ අධිකාරිය වැඩිදුරටත් අවධාරණය කරයි.

මේ පිළිබඳව යම් වැඩිදුර තොරතුරක් ලබාගැනීමට අවශ්‍ය නම්, කාර්යාල වේලාවන් තුළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ 1977 කෙටි දුරකථන අංකය ඇමතිය හැකිය.