December 10, 2025

ඕස්ට්‍රේලියාව විසින් වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනමක් පැනවීමත් සමග මිලියන ගණනක් වන ළමුන්ට සහ නව යොවුන් වියේ පසුවන්නන්ට සිය සමාජ මාධ්‍ය ගිණුම් වෙත ප්‍රවේශය අහිමි වී තිබේ.

ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, ත්‍රෙඩ්ස්, X, යූටියුබ්, ස්නැප්චැට්, රෙඩ්ඩිට්, කික්, ට්විච් සහ ටික්ටොක් ආදී සමාජ මාධ්‍ය වේදිකා අද සිට ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16ට අඩු පරිශීලකයන් විසින් පවත්වාගෙන යනු ලබන ගිණුම් ඉවත් කිරීමට සහ එම වයස් මට්ටම්වල නව ගිණුම් ලියාපදිංචි කිරීම වැළැක්වීමට පියවර ගෙන ඇති බවට අපේක්ෂා කෙරේ.

එලෙස කටයුතු නොකරන වේදිකාවලින් ඩොලර් මිලියන 49.5ක් දක්වා දඩ මුදල් අය කෙරේ.

තහනම ක්‍රියාත්මක කිරීමේදී ගැටළු කිහිපයක් ද ඇති වී තිබේ.

මුහුණ හඳුනාගැනීමෙන් වයස් සහතික කිරීමේ පරීක්ෂණ වයස අවුරුදු 16ටඅඩු අය පවා සමත් වන බවට ගාඩියන් ඕස්ට්‍රේලියා වාර්තා කර ඇත.

රජය පවසන්නේ පළමු දිනයේ සිට තහනම පරිපූර්ණ වනු ඇතැයි අපේක්ෂා නොකරන බවයි.

X සමාජ මාධ්‍ය වේදිකාව හැර අනෙකුත් සියලුම ලැයිස්තුගත වේදිකා අඟහරුවාදා වන විට මෙම තහනමට අනුකූල වන බව තහවුරු කර තිබිණි.

ඕස්ට්‍රේලියාවේ eSafety කොමසාරිස් ජූලි ඉන්මන් ග්‍රාන්ට් පැවසුවේ මේ සම්බන්ධයෙන් මෑතකදී X සමාගම සමඟ සංවාදයක් පැවැත්වූ නමුත් එම සමාගම එහි ප්‍රතිපත්තිය පරිශීලකයන්ට දැනුම් දී නොමැති බවයි.

X හි විකල්පයක් වන Bluesky, අඟහරුවාදා නිවේදනය කළේ, ඕස්ට්‍රේලියාවේ 50,000ක් පමණ වන කුඩා පරිශීලක පදනමක් හේතුවෙන් eSafety වේදිකාව ‘අඩු අවදානමක්’ ලෙස තක්සේරු කර තිබියදීත්, වයස අවුරුදු 16ට අඩු අය තහනම් කරන බවයි.

වයස් සහතික කිරීමේ පරීක්ෂාවන් සිදු කිරීම, දුරකථන අංක හුවමාරු කර ගැනීම සහ ඔවුන්ගේ ගිණුම් අක්‍රිය කිරීමට සූදානම් වීම සඳහා
පසුගිය සති කිහිපය තුළ ළමුන් කාලය ගතකර තිබිණි.

ඕස්ට්‍රේලියානු ප්‍රධාන වයස් සහතික කිරීමේ සේවාවක් වන k-ID හි සම-නිර්මාතෘ කියෙරාන් ඩොනොවන් පැවසුවේ, පසුගිය සති කිහිපය තුළ තම සේවාව මගින් ලක්ෂ සංඛ්‍යාත වයස් පරීක්ෂණ සිදු කර ඇති බවයි.

k-ID සේවාව Snapchat ඇතුළු අනෙකුත් සමාගම් විසින් භාවිත කරනු ලබයි.

තහනමෙන් පීඩාවට පත් දරුවන්ගේ මව්පියන් නව ප්‍රතිපත්තිය පිළිබඳ විවිධ අදහස් පළ කර තිබේ.

එක් මවක ගාඩියන් පුවත්පතට පවසා ඇත්තේ අවුරුදු 15ක තම දියණිය හැර ඇගේ සම වයසේ සියලුම මිතුරන් Snapchat විසින් වයස අවුරුදු 18ක් ලෙස තහවුරු කර ඇති නිසා තම දියණිය පමණක් දුක්ඛිත තත්ත්වයක සිටින බවයි.

ඇය වයස අවුරුදු 16ට අඩු බව හඳුනාගෙන ඇති බැවින්, Snapchat භාවිත කරන ඇගේ මිතුරන් හා සමාජගත වීමට සහ සංවිධානය වීමට ඇයට නොහැකි වීමෙන් ඇය කොන්වනු ඇති බවට එම මව කණගාටු වෙයි.

තවත් අයකු පැවසුවේ තහනම නිසා තම දරුවාට නීතිය කඩ කරන ආකාරය ඉගැන්වීමට තමන්ට බල කෙරුණු බවයි.

“VPN ක්‍රියා කරන ආකාරය සහ වයස් සීමාවන් මඟ හැරීම සඳහා වෙනත් ක්‍රම මම ඇයට පෙන්වා දී දුන්නා,” ඔහු පැවසීය.

“මට ඇයට ඇගේම වැඩිහිටි YouTube ගිණුමක් සකස්කර දෙන්න සිදු වුණා. TikTok හි වයස් පරීක්ෂාව මඟ හැරීමට ඇයට සහාය වුණා. ඉල්ලා සිටින සෑම අවස්ථාවකම මම එය දිගටම කරගෙන යනවා.” යනුවෙන් ද ඔහු පවසා තිබේ.

තවත් සමහරු පැවසුවේ තහනම එතරම් පමා නොවීම වැදගත් බවයි.

එක් මවක පැවසුවේ තම දියණිය සමාජ මාධ්‍යවලට සම්පූර්ණයෙන්ම ඇබ්බැහි වී ඇති බැවින් තහනම ඇයව මෙම වේදිකාවලින් ඈත් කර තැබීමට ඔවුන්ට සහායක රාමුවක් සපයන බවයි.

“ආරම්භයේ සිටම, මෙම ක්‍රියාවලිය 100% පරිපූර්ණ නොවන බව අපි පිළිගන්නවා. නමුත් මෙම නීතිය දෙන පණිවිඩය 100% පැහැදිලියි. ඕස්ට්‍රේලියාව නීත්‍යනුකූල මත්පැන් පානය කිරීමේ වයස අවුරුදු 18 ලෙස නියම කරන්නේ එවැනි ප්‍රවේශයකින් පුද්ගලයාට සහ ප්‍රජාවට ලැබෙන ප්‍රතිලාභ අපගේ සමාජය හඳුනා ගන්නා නිසයි. යෞවනයන් ඉඳහිට මත්පැන් පානය කිරීමට ක්‍රමයක් සොයා ගැනීම පැහැදිලි, ජාතික ප්‍රමිතියක් තිබීමේ වටිනාකම අඩු වෙන්න හේතුවක් නෙවෙයි.” යනුවෙන් ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් පවසා තිබිණි.

සමාජ මාධ්‍ය සඳහා අවම වයස අවුරුදු 16 දක්වා ඉහළ නැංවීමට ඡන්දදායකයන්ගෙන් තුනෙන් දෙකක් සහාය දක්වන බව මත විමසුම් මගින් නිරන්තරයෙන් පෙන්වා දී ඇත.

පාර්ලිමේන්තුව හරහා නීති සම්පාදනය කිරීම සහ හිටපු ලිබරල් නායක පීටර් ඩටන් ඒ සඳහා සහාය දැක්වීම නොතකමින් සුසන් ලේ ඇතුළු විපක්ෂය මෑතකදී තහනම පිළිබඳ අනතුරු ඇඟවීමක් කර ඇත.

තහනම ලොව පුරා අවධානය දිනා ගෙන ඇති අතර, මැලේසියාව, ඩෙන්මාර්කය සහ නෝර්වේ ඇතුළු රටවල් කිහිපයක් තමන්ගේම තහනමක් සම්මත කර ගැනීමට සූදානම් වන බව පෙන්නුම් කරයි.

යුරෝපීය සංගමය මේ හා සමාන සීමාවන් සම්මත කර ගැනීම සඳහා යෝජනාවක් සම්මත කළ අතර, බ්‍රිතාන්‍ය රජයේ ප්‍රකාශිකාවක් රොයිටර් පුවත් සේවයට පැවසුවේ එය ‘වයස් සීමාවන් සඳහා ඕස්ට්‍රේලියාවේ ප්‍රවේශය සමීපව නිරීක්ෂණය කරමින්’ සිටින බවයි.