April 18, 2024

කැනේඩියානු නායකයන් විසින් නැවතත් ශ්‍රී ලංකාවට ජනසංහාර චෝදනා එල්ල කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැඩි අවධානයෙන් පසුවන බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ශ්‍රී ලංකාව යුද ජයග්‍රහණය සනිටුහන් කරන මැයි මාසයේ දී මෙවැනි චෝදනා එල්ල කිරීම පසුගිය වසරවල ශ්‍රී ලංකාව අත්දැක තිබේ.

පසුගිය වසරේ කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ විසින් ජන සංහාර චෝදනාවක් එල්ලකිරීමත් සමග දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික ආරවුලක් ඇතිවිය.

ශ්‍රී ලංකාව ඊට ප්‍රතිචාර දැක්වූයේ කැනේඩියානු නියෝජිතයා කැඳවා ඒ පිළිබඳ විරෝධය දැක්වීමෙනි.

ශ්‍රී ලංකාව මීට පෙර විරෝධය පළකළ ද මෙවර එවැනි චෝදනා නැවත සිදුවේද යන්න පිළිබඳ ශ්‍රී ලංකා රජය දැඩි උනන්දුවකින් පසුවන බව රාජ්‍ය තාන්ත්‍රික මූලාශ්‍රවලින් වාර්තා වේ.

යුද්ධය අතරතුර ශ්‍රී ලංකාවේ වූ සිදුවීම් ජන සංහාරයක් නොවන බව කැනේඩියානු ෆෙඩරල් රජය නිගමනය කර ඇතත්, එවැනි චෝදනා එල්ල කිරීම සම්බන්ධ ඉතිහාසයක් කැනේඩියානු නායකයන්ට තිබේ.