September 12, 2026

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට අත්‍යවශ්‍යව තිබූ ‘සී.ටී. ස්කෑන්’ යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් රුපියල් කෝටියක මුදලක් ලබාගෙන, ඒ වෙනුවට චීන රජයෙන් ලංකාවට පිරිනමන ලද ‘සී.ටී. ස්කෑන්’ යන්ත්‍රයක් ‘සිරිලිය පදනම’ මගින් රෝහලට පරිත්‍යාග කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් පරීක්ෂණ ආරම්භ කර ඇති බව ‘ලංකාදීප’ය වාර්තා කරයි.

එම වාර්තාවට අනුව, නීතිපතිවරයා වෙනුවෙන් මෙම සිද්ධිය අධීක්ෂණය කරනු ලබන අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස්ගේ උපදෙස් මත මෙම පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

ඒ අනුව ඉදිරි කාලයේදී සිරිලිය පදනමේ සභාපතිනි, හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ ඇතුළු එම පදනමේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් මෙන්ම, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් ඇතුළු වගකිවයුත්තන්ගෙන් රහස් පොලිසියේ මූල්‍ය විමර්ශන ඒකකය මගින් ප්‍රකාශ ලබාගැනීමට කටයුතු කරගෙන යයි.

ලැබුණු පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන ඒකකය ආරම්භ කළ මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ, ළමා රෝහලට යන්ත්‍රයක් ගැනීමට ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් මුදල් ලබාගෙන තිබියදී, චීන රජයෙන් ලැබුණු යන්ත්‍රය සිරිලිය පදනම හරහා මෙසේ ලබා දී ඇති බවයි.