February 6, 2026

ග්‍රාමීය ප්‍රදේශවල ජනගහන පහත වැටීමට විසඳුමක් ලෙස ශ්‍රී ලංකාවෙන් කන්‍යාවන් ආනයනය කිරීමට දකුණු කොරියානු ජ්‍යෙෂ්ඨ ප්‍රාදේශීය නිලධාරියකු යෝජනා කර ඇත.

මෙම මතභේදාත්මක ප්‍රකාශය හේතුවෙන් ඔහු දැඩි ලෙස විවේචනයට ලක්ව ඇති බව එරට ජනමාධ්‍ය වාර්තා කරයි.

දකුණු ජෙයෝල්ලා පළාතේ පැවති ප්‍රසිද්ධ නගර සභා රැස්වීමකදී ජින්ඩෝ ප්‍රාන්තයේ ආණ්ඩුකාර කිම් හී-සූ, පවසා ඇත්තේ,”ශ්‍රී ලාංකික සහ වියට්නාම කන්‍යාවන් ආනයනය කිරීම” ජනගහන ගැටලුවට විසඳුමක් වනු ඇති බවයි.

ග්‍රාමීය ප්‍රදේශවල දැඩි ජනගහන පහත වැටීමක් පිළිබඳ කනස්සල්ල මධ්‍යයේ, නිලධාරීන් සහ නිවැසියන් ග්වාංජු සමඟ පළාතේ නගර සහ ප්‍රාන්ත නවයක් පරිපාලනමය වශයෙන් ඒකාබද්ධ කිරීම පිළිබඳව සාකච්ඡා කරමින් සිටියදී මෙම ප්‍රකාශය කර තිබේ.

සජීවීව විකාශනය වූ මෙම ප්‍රකාශ, දකුණු කොරියාවේ ක්ෂණික ප්‍රකෝපකාරී ප්‍රතිචාරයක් ඇති කළ අතර, විචාරකයන් එය නුසුදුසු, ලිංගිකත්වය හුවදක්වන පහත් අදහසක් ලෙස හෙළාදැක ඇත.

සමාජ මාධ්‍ය පරිශීලකයන් සහ සිවිල් කණ්ඩායම්, ආණ්ඩුකාරවරයා මෙලෙස විදේශීය කාන්තාවන් පහත්කොට මෙලෙස බරපතල ආකාරයෙන් විවේචනයට ලක්කර ඇත.

මහජන විරෝධයෙන් පසුව, කිම් හී-සූ සමාව අයැද සිටියේ, ඔහුගේ වචන වැරදි බව පිළිගනිමින් සහ ඔහු කිසිදු රටකට හෝ ප්‍රජාවකට අපහාස කිරීමට අදහස් නොකළ බව පවසමිනි.

දකුණු කොරියාව දැනට ලෝකයේ අඩුම උපත් අනුපාතවලින් එකකට මුහුණ දී සිටින අතර, ග්‍රාමීය පළාත්වල ජනගහනය වේගයෙන් වයස්ගත වීම සහ තරුණයන් ප්‍රධාන නගර වෙත සංක්‍රමණය වීම අත්විඳිමින් සිටී.