April 7, 2026

ගල්ෆ් කලාපයේ පවතින යුද තත්ත්වය හේතුවෙන් ගෝලීය ඉන්ධන සැපයුමට එල්ල වී ඇති දැඩි බලපෑම හමුවේ, පකිස්ථානය පුරා වෙළඳපොළවල් සහ සාප්පු සංකීර්ණ රාත්‍රී 8 ට වසා දැමීමට අග්‍රාමාත්‍ය මුහම්මද් ෂෙබාස් ෂරීෆ් තීරණය කර තිබේ.

පකිස්ථානයේ පාසල් සහ විශ්වවිද්‍යාල වසා දැමීමට නියෝග කර මාසයකට පමණ පසු, පැවැත්වූ තීරණාත්මක රැස්වීමකින් අනතුරුව මෙම නව සීමාවන් පනවා ඇත.

පකිස්ථාන අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ මාධ්‍ය නිවේදනයකට අනුව, ප්‍රාදේශීය රජය සමඟ පවත්වන ලද සාකච්ඡාවලින් පසුව කයිබර් පක්තුන්ක්වා (Khyber Pakhtunkhwa) ප්‍රාන්තයේ ප්‍රධාන නගරවල වෙළඳපොළවල් සහ සාප්පු සංකීර්ණ රාත්‍රී 9 දක්වා විවෘතව තැබීමට අවසර දී ඇත.

කෙසේ වෙතත්, එදිනෙදා අවශ්‍ය ද්‍රව්‍ය අලෙවි කරන වෙළඳසැල්, දෙපාර්තමේන්තු ගබඩා සහ අනෙකුත් සියලුම සාප්පු සංකීර්ණ රාත්‍රී 8 ට වසා දැමිය යුතු වේ.

තවදුරටත් ගත් තීරණ අතරට බේකරි, අවන්හල් සහ අනෙකුත් ආහාරපාන අලෙවිසැල් රාත්‍රී 10 වන විට වසා දැමීම ඇතුළත් වේ.

මංගල උත්සව ශාලා, තාවකාලික මණ්ඩප සහ අනෙකුත් වාණිජ මංගල උත්සව ස්ථාන ද රාත්‍රී 10 න් පසු වසා තැබිය යුතුය.

මීට අමතරව, පෞද්ගලික දේපළ සහ නිවෙස් තුළ පවත්වනු ලබන මංගල උත්සව ද රාත්‍රී 10 න් පසු පැවැත්වීම තහනම් කර ඇත. කෙසේ වෙතත්, ඖෂධසැල් සඳහා මෙම සීමාවන් බලනොපාන අතර ඒවා දිගටම පවත්වාගෙන යාමට අවසර හිමි වේ