February 20, 2025

කොළඹ අධිකරණ සංකීර්ණයක් තුළදී ඊයේ පාතාල නායක ගණේමුල්ල සංජීව වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු සමිඳු ඩිල්ෂාන් පියුමංග කඳනාආරච්චි ලෙස හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.

පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා පැවසුවේ, සැකකරු මහරගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර වෙඩි තැබීමේ සිද්ධියෙන් අනතුරුව පළායමින් සිටියදී ඔහු ඊයේ පස්වරුවේ පුත්තලම පාලවිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි.

“මෙම සැකකරු පසුගිය සති දෙක තුළ වාර්තා වූ ඝාතන රැසකට සම්බන්ධ බවට සොයාගෙන තිබෙනවා,” අමාත්‍යවරයා පැවසීය.

කෙසේවෙතත්, සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ප්‍රකාශයක් සිදුකරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ පැවසුවේ, එම සැකකරු 34 හැවිරිදි වියේ පසුවන අස්මන් ෂෙරිෆ්ඩීන් නමැත්තෙකු බව සහ ඔහුව පුත්තලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි.

එමෙන්ම ජනමාධ්‍ය හමුවක් කැඳවූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග එහිදී පැවසුවේ එම තුවක්කුකරු නම් කිහිපයක් භාවිත කර ඇති බවයි.

“සැකකරු හැඳුනුම්පත් කිහිපයක් සමඟ අන්වර්ථ නාම කිහිපයක් භාවිත කරමින් සිටි බව පැහැදිලියි. ඔහු මුලින්ම පෙනීසිට ඇත්තේ මොහොමඩ් අස්ලාම් ෂෙරිෆ්ඩීන් ලෙසයි. පසුව සමිඳු දිල්ෂාන් පියුමංග කඳනාආරච්චි ලෙසත් පෙනීසිට තිබෙනවා.” යනුවෙන් ඔහු ජනමාධ්‍ය හමුවේදී පැවසීය.

ඊට අමතරව සැකකරු නීතීඥවරයෙකුගේ හැඳුනුම්පතක් භාවිත කරමින් සිට ඇත්තේ කොඩිකාරගේ කසුන් ප්‍රභාත් නිශ්ශංක යන නම භාවිත කර බව ද අනාවරණ වී තිබේ.

මේ අතර Newswire වෙත අදහස් දක්වමින් අමාත්‍ය ආනන්ද විජේපාල පවසා ඇත්තේ තුවක්කුකරු, සමිඳු දිල්ෂාන් පියුමංග කඳනාආරච්චි ලෙස හඳුනාගෙන ඇති අතර ඔහු විවිධ අන්වර්ථ නම් භාවිතා කර ඇති බවයි.

මේ අතර, තුවක්කුකරු පුත්තලම ප්‍රදේශයට පලායාමට යොදාගත් වෑන් රථයේ රියදුරු ද අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

පාතාල නායක ගණේමුල්ල සංජීව ඝාතනයට ලක්වූ වෙඩි තැබීමේ සිද්ධියට සහය වූ බව කියන කාන්තාවක් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.