August 5, 2025

දැනට ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොමැති බව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයකොන්තා පවසයි.

චීනය විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට ආධාර පිරිනැමීමේ නිල උත්සවයකට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව පැවසුවේය.

පාතාල ක්‍රියාකාරකම් ජාතික ආරක්ෂාවට සෘජුව සම්බන්ධ නොවන බවත්, ඒවා කළමනාකරණය කරනු ලබන්නේ මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය ඔහු එහිදී පැවසුවේය.

“ජාතික ආරක්‍ෂාව ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ, ඔයාට අද කිසිම ප්‍රශ්නයක් නැතිව මෙතැනට එන්න පුළුවන් වුණා, පාතාලය ජාතික ආරක්‍ෂාවට ඍජුව සම්බන්ධ දෙයක් නෙවෙයි. එය පාලනය කරනු ලබන්නේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින්. අපි පොලිසියට සහ ජාතික ආරක්ෂාවට අවශ්‍ය සහය ලබාදෙනවා, නමුත් නිශ්චිත සීමාවන් තුළ පමණයි. ජාතික ආරක්ෂාවට කිසිම තර්ජනයක් නැහැ” ඔහු පැවසීය.

මේ වන විට පාතාලය නොසන්සුන් වී ඇත්තේ දේශපාලන පිටුබලය අහිමිවීම නිසා බවද ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වාදුන්නේය.

“ඒකයි එයාලා කැළඹිලා ඉන්නේ. පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ අය අල්ලනවා. මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය සැලැස්මක් ක්‍රියාත්මක කරනවා. අපි නීති රාමුව තුළ සහ සීමාවන් තුළ සහයෝගය ලබාදෙනවා,” ඔහු වැඩිදුරටත් පැවසීය.

පාතාලයට දේශපාලන රැකවරණය අහිමි වී ඇති නිසා වෙඩිතැබීම් නිතර සිදුවනවාද යන්න ජනමාධ්‍යවේදීන් විමසූ විට ඊට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ එය ද එක් හේතුවක් බවයි.