September 18, 2026

කොළඹ වරාය පිවිසුම ආසන්නයේදී වාණිජ නෞකාවකට ගොඩවීමට උත්සහ කරන අතරතුර මුහුදට වැටුණු නාවික නියමුවෙකු බේරාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත් විය.

මෙම අනතුර සිදුවී ඇත්තේ අදාළ නාවික නියමුවා වරාය වෙත පැමිණෙමින් තිබූ වෙළඳ නෞකාවක් වරාය පරිශ්‍රය වෙත ආරක්ෂිතව ගෙන ඒම සඳහා ඊට ගොඩබැසීමට සූදානම් වූ අවස්ථාවේදීය. කොළඹ වරාය පාලන මැදිරිය මගින් ලබාදුන් ක්ෂණික පණිවුඩයට අනුව ක්‍රියාත්මක වූ නාවික හමුදාව, වරාය පිවිසුම ආසන්නයේ මුර සංචාරයේ යෙදී සිටි ‘P 164’ වෙරළාසන්න මුර සංචාරක යාත්‍රාව සෙවුම් හා බේරාගැනීමේ මෙහෙයුම සඳහා වහාම යොදවන ලදී.

එහිදී දියවැල් අතර සිටි නාවික නියමුවා නිරුපද්‍රිතව සොයාගැනීමට නාවික හමුදා නිලධාරීන් සමත් වූ අතර, පසුව ඔහුව වරාය මෙහෙයුම් පාලන ජැටිය ජැටිය වෙත ආරක්ෂිතව ගෙන එනු ලැබීය.