September 26, 2024

හිටපු ඇමැති බන්දුල ගුණවර්ධනගේ උපදෙස් පරිදි ඉදිකිරීම් සමාගමකට නීති විරෝධී ලෙස සිදුකිරීමට ගිය බව කියන රුපියල් මිලියන 150ක මුදල් ගෙවීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවා තිබේ.

මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක ‘මග නැඟුම’ ඉදිකිරීම් සමාගම විසින් ‘2K කන්ස්ට්‍රක්ෂන්’ සමාගමට ගෙවිය යුතු මුදල මේ වන විට පියවා තිබියදී ඊට අමතරව රුපියල් මිලියන 150ක මුදලක් හිටපු විෂයභාර ඇමැතිවරයා සහ අමාත්‍යාංශයේ එවක ලේකම්වරයා වන රංජිත් රූබසිංහ විසින් අනුමත කර තිබේ.

‘මග නැඟුම’ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය යන දෙපිරිසම මෙම ගෙවීමට විරුද්ධ වූ අතර එය මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඉවත් කිරීමට සහ දැන් වැඩ බලන සභාපති ලෙස කටයුතු කරන රූබසිංහ විසින් එම මණ්ඩලය විසුරුවා හැරීමට ද හේතු විය.

‘මග නැඟුම’ විධායක අධ්‍යක්ෂ මහේෂ් වික්‍රම, මණ්ඩලය විසුරුවා හැරීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ අතර මෙම සිද්ධිය නීති විරෝධී මුදල් ගෙවීමට මණ්ඩලය දැක්වූ විරෝධය හා සම්බන්ධ බව ඔහු කියා සිටියේය.

ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අඟහරුවාදා (24) නියෝග කර තිබුණේ 2025 මාර්තු මාසයේ මීළඟ නඩු විභාගය තෙක් අදාළ ගෙවීම අත්හිටුවීමටය.

 

42.31%
17.27%
32.76%