October 27, 2025

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක සිටි ගුවන් සේවිකාවන් දෙදෙනකුට පහරදුන් බවට චෝදනා එල්ල වී ඇති සෞදි අරාබි ජාතිකයකු අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

කටුනායක ගුවන්තොටුපොළ පොලිසියට අනුව, සැකකරු රියාද් සිට කොළඹ බලා ගමන්කරමින් සිටියදී ගුවන් සේවිකාවන්ට පහර දී ඇතැයි පැවසේ.

සැකකරු මැලේසියාවට යෑමේ අරමුණින් කටුනායක ගුවන්තොටුපළට පැමිණ සිටි 28 හැවිරිදි සෞදි ජාතිකයෙකි.

කටුනායක ගුවන්තොටුපොළ පොලිසියේ මූලික විමර්ශනවලට අනුව, ගුවන් යානය ගොඩබෑමට සූදානම්ව තිබියදී මෙම පහරදීම සිදුව තිබේ.

එම අවස්ථාවේදී, සියලුම මගීන් ආසන පටි සවිකර අසුන්වල සිටිය යුතු වුව ද සැකකරු මෙම රෙගුලාසිය උල්ලංඝනය කරමින් වැසිකිළියට යෑමට උත්සාහ කර ඇති අතර, එය ආරවුලට හේතු වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් සේවිකාවන් නියමුවාට දැනුම්දීමෙන් පසු ගනු ලැබු පියවර අනුව යානය ගොඩබැස්වූ පසු පොලිස් නිලධාරීන් සෞදි ජාතිකයා අත්අඩංගුවට ගෙන තිබිණි.

සැකකරු අත්අඩංගුවේ පසුවන අතර කටුනායක ගුවන්තොටුපොළ පොලිසිය සහ සංචාරක පොලිසිය එක්ව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

සැකකරු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.