August 17, 2026

පසුගිය බදාදා (අගෝස්තු 12) යෙදී තිබුණු ලෝක අලි ඇතුන්ගේ දිනය (World Elephant Day) වෙනුවෙන් පරිසරයට සහ වනජීවී ඡායාරූපකරණයට දැඩි ඇල්මක් දක්වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විශේෂ යෝජනාවක් ඉදිරිපත් කර තිබුණා. ඒ, ශ්‍රී ලංකාවට ආවේණික අලි විශේෂය රටේ ‘ජාතික සත්වයා’ ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන ලෙසයි. Ceylonwire අපිත් ඒ ප්‍රවෘත්තිය වාර්තා කළා ඔබට මතක ඇති.

කෙසේවෙතත්, මෙම යෝජනාවත් සමඟම සමාජ මාධ්‍යය සහ දේශපාලන කරළිය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා. බොහෝදෙනෙක් උපහාසාත්මකව මතක් කර දෙන්නේ පසුගිය කාලයේ අලියා ලකුණින් තරග කළ සිය පැරණි පක්ෂය (එක්සත් ජාතික පක්ෂය) අතහැර, ‘ටෙලිෆෝනය’ අතට ගෙන අලුත් පක්ෂයක් සාදාගත් සජිත් ප්‍රේමදාසට හදිසියේම අලියා ගැන මෙතරම් ආදරයක් පහළ වීම පුදුම සහගත බවයි.

“එදා අලියා අතහැරලා ටෙලිෆෝන් එක ගත්තට, අද අලියා ජාතික සත්වයා කරන්න හදනවා” කියමින් බොහෝදෙනා මේ පිළිබඳව විවිධ අදහස් පළකරනවා.

පරිසර හිතකාමී යෝජනාවක් ලෙස ඇතැම් පිරිස් මෙය අගය කළත්, දේශපාලන වේදිකාව තුළ නම් මෙම කතාව දැඩි උපහාසයට ලක්වෙමින් පවතින බව වාර්තා වෙනවා.