August 17, 2023

ඉදිරි ජනාධිපතිවරණයකින් පසු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා යටතේ අගමැතිකම ගැනීමට විපක්ෂයේ සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට අවශ්‍ය නම් ඔහු තම කණ්ඩායම සමඟ රනිල් වික්‍රමසිංහට නැවත ජනාධිපතිවරයාවීමට පළමුව සහාය දිය යුතු බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසන්නේ දේශපාලන අවස්ථාවාදීන්ට නොවරනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණයට සහාය ලබාදීමට කැමති ඕනෑම කෙනකුට එජාපයේ සියලු දොරටු විවෘත බවයි.

සමගි ජන බලවේගය නමින් පක්ෂයක් ඇතත් එහි සාමාජිකයන් සියලු දෙනාම පාහේ එක්සත් ජාතික පාක්ෂිකයන් බවත්, ඒ නිසා මැතිවරණයකදී එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් එක්ව කටයුතු කිරීමේ ගැටලුවක් තමන් නොදකින බවත් ඔහු කියා සිටියි.

කෙසේ වෙතත්, ඉදිරි රනිල් වික්‍රමසිංහ පාලනයක් යටතේ යමකුට අගමැති වීමට අවශ්‍ය නම් ඔහු ජනාධිපතිවරණයකදී වත්මන් ජනාධිපතිවරයාට සහාය ලබාදිය යුතු බවත්, එසේ නොවුණහොත් ජනාධිපතිවරයාට සහාය දක්වන ජනතාව සහ පක්ෂව ඊට ඉඩ ලබානොදෙන බවත් ඔහු පවසයි.

තමාට සහාය දෙන ලෙස ඉල්ලා ජනාධිපතිවරයා කළ ආරාධනා කිහිපයක් සමගි ජන බලවේගය ප්‍රතික්ෂේප කර ඇති නමුත් එහි බොහෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරියේදී ජනාධිපතිවරයාට සහාය දක්වන බව රංගේ බණ්ඩාර වැඩිදුරටත් කියා සිටියි.