May 11, 2024

සමගි ජන බලවේගයේ නායකත්වය තවමත් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් බව දැනට අක්‍රීයව ඇති අපේ ජාතික පෙරමුණේ හිටපු සභාපති සේනක ද සිල්වා පවසයි.

ඩයනා ගමගේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියගේ ස්වාමි පුරුෂයා වන සේනක ද සිල්වා ජනමාධ්‍ය හමුවකදී කියාසිටියේ පක්ෂ ව්‍යවස්ථාව අනුව මන්ත්‍රීවරුන්ට එකවර පක්ෂ දෙකක සාමාජිකත්වය දැරිය නොහැකි බවයි.

“අපි අපේ නීතිඥයන් සමඟ ඊළඟ පියවර ගැන කතා කරනවා. මමවත් ඩයනා ගමගේවත් පක්ෂයක් විකුණුවේ නැහැ. අපි එතුමාට මේ පක්ෂය දුන්නේ රට වෙනුවෙන්. මම සජිත් ප්‍රේමදාසට පක්ෂය දීලා එතුමාව පක්ෂයේ නායකයා කළා. ඩයනා ගමගේ ලේකම්. එතුමිය අයින්වෙලා රංජිත් මද්දුම බණ්ඩාරට තනතුර දුන්නා.” ඔහු එහිදී පැවසුවේය.

“පක්ෂය ඉදිරියට ගෙන යාමටත් රටේ ජනතාවට සේවය කිරීමටත් එය ලබාදුන්නා.” යනුවෙන් ද ඔහු පැවසීය.

එහිදී සේනක ද සිල්වා විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වය දුන් එජාපයෙන් කැඩී ගිය කණ්ඩායමට පක්ෂය ලබාදීම පිළිබඳ මැතිවරණ කොමිසමේ මුද්‍රාව සහිත ලියවිල්ලක් පෙන්වීය.

“සභාපති ලෙස මම අත්සන් කර ඇති අතර ඩයනා ගමගේ ලේකම් ලෙස අත්සන් කර තිබෙනවා. ඒ යටතේ සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුම බණ්ඩාර අත්සන් කර තිබෙනවා” ඔහු පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මද්දුම බණ්ඩාර සමගි ජනබලවේගයේ ප්‍රධාන ලේකම්වරයා වේ.

“මොනවා හරි ආවොත් ඒක ප්‍රේමදාසගේ නායකත්වය පිළිගන්නේ නැති තැනකට, මද්දුම බණ්ඩාරගේ තනතුර පිළිගන්නේ නැති තැනකට ගෙනියන්න පුළුවන්.’’ සේනක ද සිල්වා පැවසුවේය.

“වීදුරු ගෙයක් ඇතුලේ ඉඳන් ගල් ගහනවා,” ඔහු වැඩිදුරටත් පැවසීය.

පක්‍ෂයේ නිත්‍ය සාමාජිකයන් ලෙස තමන් සහ තම බිරිඳ ඉවත් කළ නොහැකි බවද ඔහු පැවසුවේය.

එමෙන්ම සේනක ද සිල්වා එම මාධ්‍ය හමුවේදී කියා සිටියේ මේ සම්බන්ධයෙන් නඩුවක් පවරා ඇති බවයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී ප්‍රේමදාසගේ අපේක්ෂකත්වය සඳහා වන බලපෑම් පිළිබඳව මාධ්‍යවේදීන් විමසූ විට සේනක ද සිල්වා කියා සිටියේ මෙම ප්‍රශ්නය මගින් “විශාල ගැටලුවක්” නිර්මාණය කළ හැකි බවයි.

ඔහු එලෙස පැවසුවේ සජිත් ප්‍රේමදාසට සමගි ජනබලවේගය ලකුණින් තරඟ කිරීමට ඉඩ නොදෙන බවට ඉඟි පළ කරමිනි.

“පක්‍ෂයේ ව්‍යවස්ථාවට අනුව පක්‍ෂ දෙකක සාමාජිකයන් වෙන්න බැහැ. රංජිත් මද්දුම බණ්ඩාර සහ සජිත් ප්‍රේමදාස මේ වන විටත් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන්.” ඔහු වැඩිදුරටත් පැවසුවේය.