June 18, 2026

ශ්‍රී ලංකාවේ සුපිරි හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග, නවතම ලෝක මලල ක්‍රීඩා ශ්‍රේණිගත කිරීම්වලට අනුව ලෝකයේ 02 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණෙමින් මෙරට මලල ක්‍රීඩා ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත්ව ඇත.

23 හැවිරිදි මෙම ක්‍රීඩකයා අන්තර්ජාතික මලල ක්‍රීඩා පිටියේ කැපීපෙනෙන දස්කම් දක්වමින් සිටින අතර, රෝම ඩයමන්ඩ් ලීග් (Rome Diamond League) තරඟාවලියේදී මීටර් 92.62 ක දුරක් හෙල්ල විසිකරමින් තැබූ වාර්තාව ඊට මූලික විය.

මෙම දක්ෂතාවත් සමඟ නව ශ්‍රී ලංකා ජාතික වාර්තාවක් පිහිටුවීමට ඔහු සමත් වූ අතර, එය මේ වසරේ ලෝකයේ වාර්තා වූ දිගම හෙල්ල විසිකිරීම මෙන්ම 2026 තරඟ වාරයේදී මීටර් 90 සීමාව පසුකළ ලොව පළමු ක්‍රීඩකයා බවට ද ඔහුව පත්කළේය.

රෝමයේදී ඔහු දැක්වූ මෙම දක්ෂතාව හෙල්ල විසිකිරීමේ ලෝක ඉතිහාසයේ 08 වැනි හොඳම දක්ෂතාව ලෙසත්, ආසියානු ක්‍රීඩකයෙකු සනිටුහන් කළ 02 වැනි හොඳම දක්ෂතාව ලෙසත් ඉතිහාසයට එක්වෙමින් ඔහුට ගෝලීය ඇගයීමක් ද හිමිකර දුන්නේය.

යුරෝපා තරඟ සංචාරයේදී ද තම දක්ෂතා ස්ථාවරව පවත්වා ගැනීමට සමත් වූ තරංග, චෙක් ජනරජයේ පැවැති ‘ඔස්ට්‍රාවා ගෝල්ඩන් ස්පයික්’ (Ostrava Golden Spike) තරඟාවලියේදී මීටර් 86.57 ක දුරක් සනිටුහන් කරමින් රන් පදක්කම දිනාගැනීමට සමත් වූයේ, ලොව ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයන් අතර තම ස්ථානය තවදුරටත් ශක්තිමත් කරගනිමිනි.

ඔහු ලෝක ශ්‍රේණිගත කිරීම්වල 02 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීම, නිශ්චිත මලල ක්‍රීඩා ඉසව්වකින් ශ්‍රී ලංකා ක්‍රීඩකයකු මෙතෙක් ලබාගත් ඉහළම ලෝක ශ්‍රේණිගත කිරීම වන අතර, ප්‍රධාන පෙළේ අන්තර්ජාතික තරඟාවලි රැසකදී ඔහු දැක්වූ අඛණ්ඩ දක්ෂතා මීට හේතුවිය.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ප්‍රධාන අන්තර්ජාතික තරඟාවලි රැසක් හේතුවෙන් රුමේෂ් තරංග මේ වන විට ලෝක ජයග්‍රහණ සඳහා වන ප්‍රබල තරඟකරුවකු ලෙස සැලකෙන අතර, ලෝක ශූරතාවලියකදී ශ්‍රී ලංකාවට දිගු කලක් තිස්සේ අහිමි වූ ඔලිම්පික් මලල ක්‍රීඩා පදක්කමක් දිනාගැනීමේ බලාපොරොත්තුව ද ඔහු විසින් නැවත දල්වා ඇත.