November 8, 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා පත්කළ අර්ජුන රණතුංගගේ ප්‍රධානත්වයෙන් යුත් අතුරු කමිටුවට අදාළ ගැසට් පත්‍රය අත්හිටුවමින් ඊයේ ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ අද අධිකරණයට දැඩි ප්‍රහාරයක් එල්ල කළේය.

තීන්දුවට දොස් පවරන ඇමැතිවරයා, එය එක් මතයක් පමණක් සළකා බලා, ලබාදුන්නක් බැවින් අධිකරණය ක්‍රියාදාමය පිළිබඳ බරපතළ ගැටලු කිහිපයක් මතුකරනු ඇති බවටද චෝදනා එල්ල කළේය.

අමාත්‍යංශයට සහාය නොදක්වමින් සහ දූෂිත ක්‍රිකට් නිලධාරීන් ආරක්‍ෂා කරන ආකාරයෙන් කටයුතු කරන බවටද ක්‍රීඩා ඇමැතිවරයා නීතිපතිවරයාට චෝදනා කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ තම සමීපතමයන් විසින් නොමඟ යවා ඇති බව සඳහන් කළ ඇමැති රොෂාන් රණසිංහ, ජනාධිපතිවරයාට දැනුම් දුන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා හෝ රොෂාන් රණසිංහ යන දෙදෙනාගෙන් එක් පැත්තක් තෝරාගන්නා ලෙසයි.

ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව ප්‍රකාශ කළේය.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් ඉවත් කිරීම සඳහා වූ යෝජනාවක් හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.