November 17, 2026

හුදෙකලා නිවාසවල තනිව වෙසෙන වැඩිහිටියන් ඉලක්ක කර ගනිමින් මුදල් සහ රන් ආභරණ සොරකම් කිරීමේ අපරාධ ඉහළ යමින් පවතින බැවින්, ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අමතර පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

දරුවන් රැකියා සඳහා පිටව යාම, විදේශගත වීම හෝ වෙනත් පළාත්වල පදිංචියට යාම හේතුවෙන් නිවෙස්වල තනිව වෙසෙන වැඩිහිටියන් මෙලෙස දැඩි අවදානමකට ලක්ව ඇති බව පොලීසිය පෙන්වා දෙයි. ඇතැම් අවස්ථාවලදී අපරාධකරුවන් සිය අරමුණු ඉටු කර ගැනීමට යාමේදී එම මංකොල්ලකෑම් මිනීමැරුම් දක්වා වර්ධනය වී ඇති බවද වාර්තා වේ.

මෙම අවදානම අවම කර ගැනීම සඳහා වැටුප් ගෙවා සේවයේ යොදවන සාත්තු සේවකයින්, ගෘහ සේවිකාවන් සහ රැකවරණ මධ්‍යස්ථාන සේවකයින් බඳවා ගැනීමට පෙර ඔවුන්ගේ පසුබිම පිළිබඳ සොයා බැලීමටත්, පොලිස් නිෂ්කාශන වාර්තා ලබා ගැනීමටත් කටයුතු කරන ලෙස පොලීසිය උපදෙස් දී තිබේ.

එමෙන්ම, ළඟම ඇති පොලිස් ස්ථානය, 119 පොලිස් හදිසි ඇමතුම් අංකය, 1990 සුව සැරිය ගිලන් රථ සේවාව, සමීප අසල්වැසියකු සහ පවුලේ වෛද්‍යවරයාගේ දුරකථන අංක නිවස තුළ පැහැදිලිව පෙනෙන ස්ථානයක සටහන් කර තැබීමට ද නිර්දේශ කර තිබේ.

තම ප්‍රදේශයේ තනිව වෙසෙන වැඩිහිටියන් පිළිබඳව අදාළ ග්‍රාම නිලධාරීවරයා සහ ප්‍රජා පොලිස් කමිටුව දැනුවත් කර ඔවුන්ගේ ආරක්ෂාව සමීපව නිරීක්ෂණය කිරීමට සැලැස්විය යුතු බවද පොලීසිය සඳහන් කරයි.

මීට අමතරව, පවුලේ සාමාජිකයින්ගේ සහ පොලීසියේ අංක කලින් ඇතුළත් කළ භාවිතයට පහසු ජංගම දුරකථන වැඩිහිටියන්ට ලබා දීම, අසල්වැසියන් සමඟ සමීප සබඳතා පැවැත්වීම, විවිධ සේවාවන් හෝ සුළු රැකියා සඳහා පැමිණෙන නාඳුනන පුද්ගලයින් නිවස තුළට නොගැනීම සහ රාත්‍රී කාලයේදී නිවස අවට ප්‍රමාණවත් ආලෝකයක් පවතින බවට තහවුරු කර ගැනීම ද වැදගත් ආරක්ෂක පියවර ලෙස පොලීසිය පෙන්වා දී ඇත.

තනිව වෙසෙන වැඩිහිටි දෙමාපියන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කර නිරන්තරයෙන් ඔවුන්ගේ සුවදුක් සොයා බලන ලෙසත්, ඇතිවිය හැකි අපරාධ තර්ජන වළක්වා ගැනීමට කාලෝචිත පියවර ගන්නා ලෙසත් පොලීසිය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.