
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විදේශීය යුද නැව්, හමුදා ගුවන් යානා සහ පර්යේෂණ යාත්‍රා සඳහා රාජ්‍ය තාන්ත්‍රික අවසරය ලබාදීම සඳහා ශ්‍රී ලංකාව භාවිත කරන සංශෝධිත සම්මත මෙහෙයුම් ක්‍රියාපටිපාටිය (SOP) පිළිබඳව රජය පසුගිය සතියේ කොළඹ විදේශ දූත මණ්ඩල ගණනාවකට නිල වශයෙන් දැනුම් දී ඇති බව වාර්තා වේ.
මෙහෙයුම් ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් විදේශ කටයුතු ඇමැති අලි සබ්රි පැවසුවේ “පසුගිය වසර 10 තුළ ශ්‍රී ලංකාවට එවැනි මෙහෙයුම් පටිපාටියක් අවශ්‍ය බවට ඉල්ලීම් ඉදිරිපත් කළ දූත මණ්ඩලවලට අපි නව සංශෝධන සන්නිවේදනය කළා” යනුවෙනි.
විදේශ අමාත්‍යංශය විසින් එවැනි දූත මණ්ඩල වෙත මෙහෙයුම් ක්‍රියාපටිපාටිය දැනුම්දී ඇති බවත්, ලැබෙන ඉල්ලීම් මත කොළඹ පිහිටි ඕනෑම විදේශ දූත මණ්ඩලයකට එය ලබාගත හැකි බවත් ඔහු පැවසීය.
නව මෙහෙයුම් ක්‍රියාපටිපාටියට ජූලි මාසයේදී කැබිනට් අනුමැතිය ලැබී තිබුණද, කෙටුම්පතට කරන ලද සංශෝධන හේතුවෙන් එය අවසන් කර නොතිබිණි.
පැවති මෙහෙයුම් ක්‍රියාපටිපාටිය 2016 සිට බලාත්මක වූවකි.
පසුගිය වසරේ අගෝස්තු මාසයේදී චීන චන්ද්‍රිකා නිරීක්ෂණ යාත්‍රාවක් වන චීනයේ යුවාන් වැන්ග් 5හි මතභේදාත්මක සංචාරයෙන් පසුව ඉන්දියාව, එක්සත් ජනපදය සහ වෙනත් අය විසින් මතු කරන ලදකරුණු සැළකිල්ලට ගෙන ශ්‍රී ලංකා රජය විසින් එම පටිපාටිය සමාලෝචනය කරන ලදී.
චීන රජයට අයත් පර්යේෂණ යාත්‍රා සංචාරය කිරීම පිළිබඳ එක්සත් ජනපදයෙන් සහ ඉන්දියාවෙන් දැඩි විවේචන සහ සැළකිල්ල යොමුව ඇති අතර ඉන්දියානු ජනමාධ්‍ය බොහෝ විට එවැනි යාත්‍රා “ඔත්තු” නැව් ලෙස හුවාදක්වා තිබිණි.
කෙසේවෙතත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකාවේ වරායේ හෝ මුහුදු ප්‍රදේශයේ “ඔත්තු” නැව් කිසිවක් නොමැති බව බොහෝ කලක සිට ප්‍රකාශ කර ඇති අතර, මෑතදී ඉන්දියානු නාලිකාවක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී එය නැවත අවධාරණය කළේය.
විදේශීය යුද නැව් සහ පර්යේෂණ නැව් සාදරයෙන් පිළිගන්නා නමුත් “ඔත්තු” නැව් සඳහා අවසර ලබානොදෙන බව ජනාධිපතිවරයා පැවසීය.
රටවල් ගණනාවක යුද නැව් සහ පර්යේෂණ යාත්‍රා ශ්‍රී ලංකා වරායට පැමිණෙන අතර, චීන යාත්‍රා පැමිණීම පමණක් මාධ්‍ය උමතුවක් කරගෙන ඇති බව ඔහු පැවසීය.
චීන භූ භෞතික සහ භූ කම්පන විද්‍යාත්මක පර්යේෂණ යාත්‍රාවක් වන ෂී යැන් 6 යෝජිත සමීක්ෂණය සිදුකිරීමට අවසරයකින් තොරව පසුගිය මාසයේ පැමිණීමත් සමඟ සමාලෝචනය කරන ලද මෙහෙයුම් ක්‍රියාපටිපාටිය බලාත්මක කිරීමේ ප්‍රමාදය පිළිබඳ අවධානය යොමුවිය.
නෞකාව පැමිණීමෙන් පසු , ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) සමඟ දින දෙකක ඒකාබද්ධ සමීක්ෂණයක් සඳහා ශ්‍රී ලංකාව අනුමැතිය ලබාදෙන ලදී.
මීට පෙර ජනමාධ්‍ය වාර්තා කර තිබුණේ නාරා ආයතනය සතුව සමුද්‍ර විද්‍යා පර්යේෂණ සඳහා ආර්.වී. සමුද්‍රිකා නම් මුහුදු යාත්‍රාවක් පවතින අතර, පසුගිය වසර දහය තුළ ශ්‍රී ලංකාවේ වරායන් වෙත පැමිණි බොහෝ සාගර විද්‍යාත්මක පර්යේෂණ යාත්‍රා සතු දියුණු සංවේදක එම සමුද්‍රිකා යාත්‍රාව සතුව නොතිබුණද, මූලික ජලවිද්‍යාත්මක හා සාගර විද්‍යාත්මක පර්යේෂණ සිදුකිරීමට එයට හැකියාව ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart